කොටි සංවිධානය කළු ජූලියට පෙර සහ පසු
ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය කළු ජූලියට පෙර සාමාජිකයන් තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත වූ කුඩා සංවිධානයකි. ඇතැම් වාර්තාවලට අනුව 1983 මුලදී (ශංකර් මිය ගිය පසු) එහි සාමාජිකයන් පිරිස නිශ්චිතව 32 කි.
එහි සන්නද්ධ අංශ නායකයා සීලන් බුද්ධි තොරතුරු වලට අනුව කොටු කර මරා දැමීමට යුධ හමුදාවට හැකි විය. 1983 තිරුනල්වේලි ප්‍රහාරය සම්බන්ධයෙන්ද බුද්ධි තොරතුරු හමුදාවට කලින් ලැබී තිබිණි. මේ අනුව කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන ළඟම බුද්ධි තොරතුරු ලබා ගත හැකි ජාලයක් යුධ හමුදාවට ඒ අවස්ථාවේ තිබිණි.
සෙසු සංවිධන සලකන විට ටෙලෝ සංවිධානයේ කුට්ටිමනි, තංගදුරේ සහ ජෙගන් ඇතුළු නායකයන් බොහෝ පිරිස් බන්ධනාරගතව සිටියහ. ප්ලොට් සංවිධානයේ සන්නද්ධ නායකයා කාර්දන් හමුදාව විසින් ඝාතණය කර තිබූ අතර, බොහෝ සාමාජික පිරිසක් අත් අඩංගුවේ පසු විය.
මේ අවස්ථාවේ සීරුවෙන් සහ සංයමයෙන් කටයුතු කළේ නම් සියලු දෙමළ සන්නද්ධ සංවිධාන මර්ධනය හැකියාව 1983 වන විට යුධ හමුදාවට ඉඩ තිබිණි.
කරුණු එසේ තිබියදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කර ඇත්තේ අමනෝඥ ආකාරයටයි.
ජේ.ආර්. ජයවර්ධන මෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරු දෙදෙනාම 1987-89 ජවිපෙ කැරැල්ල මැඩලීමට කටයුතු කළේද මේ ආකාරයේ අමනෝඥ ආකාරයකටයි. 1989 වසර අගදී යුධ හමුදා බුද්ධි අංශ විසින් කරන ලද මෙහෙයුමකින් මාසක පමණ කාලය ඇතුළත ජවිපෙ ඉහළ පෙළ නායකත්වයේ සියලු දෙනා අත් අඩංගුවට ගැනීමට යුධ හමුදාව සමත් වූ අතර ජවිපෙ කැරැල්ල ඉන් අවසන් විය. මේ ප්‍රයත්නය 1987 දීම සිදු කළේ නම් වසර දෙකක් පමණ තරුණ ජීවිත 66,000ක් විනාශ වන්නේත්, රටම අමු සොහොනක් කිරීමට අවශ්‍ය වන්නේත් නැත. නමුත් එවකට ආණ්ඩුව කල්පනා කළේ මරා දැමුණු ජවිපෙ සාමාජිකයන්ගේ මළ සිරුරු හන්දි ගාණේ ටයර් සෑයවල් වල දැවීමෙන් භීෂණය සහ භීතිය හරහා කැරැල්ල මර්ධනය කළ හැකි වේය යන්නයි.
එපරිද්දෙන් කොටි සංවිධාන නායකත්වය හඹා යනු වෙනුවට රටම ගිනි තබා දෙමළ ජනතාව වෙතට භීෂණය සහ භීතිය ගෙන යාමෙන් දෙමළ සන්නද්ධ සංවිධාන මර්ධනය කිරීමට එවකට ආණ්ඩුව කල්පනා කළ බව පෙනේ. නමුත් සිදුවූයේ හාත්පස අනෙකකි.
කලු ජූලිය නිසා කොපමණ ජීවිත හෝ දේපළ හානියක් වූයේද යන්න ගැන නිසි තක්සේරුවක් කෙරී නැත. මේ සම්බන්ධ බොහෝ වාර්තා පළ කර ඇත්තේ දෙමළ බෙදුම්වාදීන් විසින් නිසා සංඛ්‍යාලේඛණ බොහොමයක් උත්කර්ෂයට නගා ඇති බව සිතිය හැක. Tamil Centre for Human Rights පවසන්නේ 6000 ක පමණ දෙමළ වැසියන් පිරිසක් ඝාතණය වූ බවයි. කලබල තිබුනේ සතියක පමණ කාලයක් නිසා එපමණ පිරිසක් ඝාතණය වීය යන්න සිතීමට අපහසුය.
කෙසේ නමුත් දිවයින පුරාම දෙමළ වෙළඳ සැල් විශාල ප්‍රමාණයෙන් විනාශ විය. බොහෝ පිරිසක්, විශේෂයෙන් වෘත්තියකයන් රට හැර ගිය අතර ඊනියා දෙමළ ඩයස්පෝරාව ඇති විය. වසර 26 ක කාලයක් ඔවුන් ඉපැයූ ධනයෙන් විශාල පංගුවක් කොටි සංවිධානයට පොම්ප කෙරිණි.
ජාත්‍යන්තර අවධානයද විශාල වශයෙන් ලංකාවට යොමු විය. විශේෂයෙන් ඉන්දියාව දෙමළ සන්නද්ධ කල්ලිවලට ඉන්දියාවේ පුහුණුව ලබා දීමට තීරණය කරන්නේත් ඉන් පසුවයි.
අවසන් වශයෙන් උතුරු නැගෙනහිර දෙමළ වැසියෝ කොටි සංවිධානය වෙත නැඹුරු වූහ. මරණයට පත් වූ මුල්ම දෙමළ ත්‍රස්තවාදියා ලෙස සැලකෙන පොන්නදුරේ සිවකුමාරන් 1974 වසරේදී බැංකුවක් කොල්ල කෑමට යාමේදී ඔහුව අල්ලා පොලිසියට භාර දෙන්නේ යාපනයේ දෙමළ වැසියෝය. එතෙක් තුවක්කු අතට ගත් කරායර් කුලයේ තරුණ මැරයන් පිරිසක් ලෙස කොටි සංවිධානය දුටු යාපනයේ වැසියා ඉන්පසු තම ගැලවුම් කරුවා ලෙස දැකීමට පටන් ගත්හ.
1983 ජූලි වලට පෙර සාමාජිකයන් 32 දෙනෙකු සිටි කොටි සංවිධානය සාමාජිකයන් දහස් ගණනක සංවිධානයක් ලෙස ක්ෂණිකව ව්‍යාප්ත විය.
4 Viewers





