කො⁣රහේ කිඹුලන් දකිනු!

ඊයේ අනුර දිසානායක ජනාධිපතිතුමා සිය පක්ෂයේ මහා මැතිවරණ අපේක්ෂක පිරිස අමතා කතා කළා. එහි දී ඔහු කීවා, උතුරේ නායකයෙක් තමා හමු වී මහා මැතිවරණයට පසු ආණ්ඩුව සමග වැඩ කරන්න සූදානම් බව ප්‍රකාශ කළා කියලා.

ඊට පෙර ජනාධිපතිතුමා රාමාඤ්ඤ සහ අමරපුර නිකා⁣ මහානාහිමිවරුන් බැහැදුටු මොහොතේ ප්‍රකාශ කළා සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඉදිරි කටයුතු කරන බව.

අප පුල පුලා කිහිප වරක් කී පරිදිම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටුවේ තමයි, 2015 ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කළ ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන බව කියන්නේ. ඒ රට ප්‍රාන්ත ආාණ්ඩුවලට බෙදන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව.

මේ වෙලාවේ මහා මැතිවරණයේ දී මාලිමාවට ආණ්ඩුව බලය දිය යුතුයි. ඒ කියන්නේ ආසන 113ක් දිය යුතුයි. රටෙි සංවර්ධන කටයුතු කරන්න, හොරු අල්ලන්න ඒ හොඳටම ප්‍රමාණවත්. මහින්ද රාජපක්ෂ කොටි පරාද කළෙත් ආසන 113ක් තියාගෙන.

හැබැයි කිසිසේත් ඊට වඩා ප්‍රබල බලයක් දිය යුතු නෑ. විශේෂයෙන් දෙමළ සන්ධානය සහ ආණ්ඩුව ලබා ගන්නා ආසන ප්‍රමාණය 150ට ආසන්න නොවන තැනක තැබීමට ජනතාව වගබලා යුතුයි.

දැන් ජනාධිතුමා ප්‍රකාශ කරන පරිදිම සුමන්දිරන්ලා එකතු වෙලා වැඩ කරන්න සූදානම් වෙන්නේ අර ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව සම්මත කරගන්න මිස වෙන කෙංගෙඩියකට නෙමෙයි. අනික් අතට නව ආණ්ඩුව තමන්ගේ පළමු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිය ලෙස ඉන්දු ලංකා පාළම තැනීම ගැන අවසන් සාකච්ඡා පටන් අරගෙන.

වැරදිලාවත් එවැනි බලයක් ලැබුණොත් එය රට තවත් අර්බුදයකට ඇද දමන අවාසනාවන්ත යුගයකට රට දක්කන සමාරම්භය වෙන්න පුළුවන්. එය රට ආර්ථික අර්බුද කබළෙන් දේශපාලන අර්බුදය නම් ගින්නට ඇද දැමීමක්. එය රට වගේම ආණ්ඩුවේ ආයුෂත් කෙටි කරවන්න පුළුවන්. ඒ දෙකම විය යුතු නෑ.

එහෙත් අවාසනාවට මේ ප්‍රකාශවල යටිපෙළ මගින් කියැවෙන භයානක අනතුර කෙරෙහි මහා සංඝරත්නය හෝ ජාතිකත්ව කඳවුරේ පිරිස හෝ ජාතික සංවිධාන හෝ එතරම් අවදානයක් යොමු කළ බවක් පේන්න නෑ. එය රට පැත්තෙන් ඉතාම බරපතළ තත්ත්වයක්. රටේ සාමාන්‍ය ජනතාවට මේ අනතුර පහදා දෙන්න ඒ කණ්ඩායම් නිදිගැට හැර පෙරට ආ යුතුයි.෴

නාමල් උඩලමත්ත



51 Viewers