ගෝඨා ගත් වියත් මග

කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේ දී පසුගිය දිනෙක පවත්වන ලද එක්‌තරා සම්මේලනයක්‌ පිළිබඳව වර්තමානයේ කතිකාවක්‌ නිර්මාණය වී තිබේ. එම සම්මේලනය වනාහි වියත් මග සංවිධානයේ දෙවැනි සංවත්සර සම්මේලනයයි. එහි තේමා පාඨය ලෙස දැක්‌වුණේ “බුද්ධියෙන් බලගැන්වුණු ශ්‍රී ලංකාවක්‌” යන්නයි. ශ්‍රී ලංකාව 2030 දී ළඟා කරගත යුතු සමාජ ආර්ථික, අධ්‍යාපනික හා දේශපාලනමය ඉලක්‌ක එහි දී සාකච්ඡාවට බඳුන් විය. කිසිදු සංවිධානයකට ඒකරාශී කරගත නොහැකි මට්‌ටමේ වියතුන් දහසකට වඩා මෙම සම්මේලනයට සහභාගී කරවා ගැනීමට එහි සංවිධායක කමිටුව සමත් වී තිබීම ආරම්භයේ දී ම සඳහන් කළ යුතුය.

වියත් මග වනාහී හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සභාපතිත්වය උසුලන ඔහුගේම නිර්මාණයක්‌ වන අතර මෙම ස්‌වේච්ඡා සංවිධානයේ මෙහෙවර වන්නේ ‘යහපත් අනාගතයක්‌ වෙනුවෙන් වෘත්තිකයන්’ පෙළ ගැස්‌වීමයි. දේශපාලන පක්‌ෂ භේදයක්‌ හෝ වර්ගවාදයක්‌ හෝ නොසලකන මෙම සංවිධානය ආගමික උතුමන්, උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, දේශපාලකයන් වැනි සකල විධ වියතුන් හට සහභාගී විය හැකි සේ නිර්මාණය කරන ලද්දකි. වියතුන් ගතයුතු මග යනු කවරේද යන්න පිළිබඳව වියතුන් මෙන්ම මහජනයා ද දැනුවත් කිරීම පිණිස පසුගිය වසර දෙක තුළ රට පුරා සම්මන්ත්‍රණ මාලා පවත්වන ලද අතර එමගින් රටේ සෑම ප්‍රදේශයකින්ම වියතුන් ඒ කෙරෙහි කාන්දමකට මෙන් ඇදී ආ බව පසක්‌ වූයේ එහි දෙවැනි සම්මේලනය පවත්වන අවස්‌ථාවේ දී ය.

එම සම්මේලනය 2030 දී ශ්‍රී ලංකාව ළඟා විය යුතු ඉලක්‌ක හා එහිලා පැනනගින අභියෝග මෙන්ම එම අභියෝගවලට මුහුණ දීමට රට තුළ ඇති හැකියාව, හැකියාවන් වර්ධනය කරගැනීමේ විධික්‍රම යනාදිය අළලා වටිනා දේශන හතක්‌ පවත්වන ලදී. ඒවා මෙසේය( ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාකාරී සැලසුමක්‌ (ගෝඨාභය රාජපක්‌ෂ), නවෝත්පාදන ආර්ථිකයක්‌ සඳහා යෙදවුම් (මහාචාර්ය බන්දුල විඡේරත්න), ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්‌ පිළිබඳ අපේක්‌ෂා (ආචාර්ය නාලක ගොඩහේවා), ඩිජිටල් හා දැනුම පදනම් ආර්ථිකයක්‌ (මනෝ සේකරම්), සමාජ නවෝත්පාදන හා අනාගත ව්‍යාපාර (එරන්ද ගිනිගේ), 2030 දී ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය හා ජාතික ආරක්‌ෂාව (මහාචාර්ය රොහාන් ගුණරත්න), සහ වටිනාකම් පදනම් සංවර්ධිත ආර්ථිකයක්‌ සඳහා අධ්‍යාපනය (ආචාර්ය මොහොමඩ් රම්සි).

මෙම දේශකයන් විසින් අප රටේ වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු පිළිබඳව අදහස්‌ දක්‌වන ලද අතර එම ගැටලු විසඳීමට ඉදිරියේ දී ක්‍රියාවට නැංවිය යුතු ප්‍රතිපත්ති, ඉලක්‌ක හා අභියෝග ජය ගැනීමේ උපායමාර්ග මෙන්ම ශක්‌තිය පිළිබඳව විශ්ලේෂණාත්මක ලෙස කරුණු ගෙනහැර දැක්‌වීය. මෙහිලා සහභාගී වූවන්ගේ දැඩි ආකර්ෂණයක්‌ නිරීක්‌ෂණය කළ හැකි වූ අතර එම දේශන සඳහා ප්‍රවිෂ්ටයක්‌ ලබාදුන් ගෝඨාභය රාජපක්‌ෂගේ දේශනය කාගේත් අවධානයට මෙන්ම ඉමහත් ප්‍රසංශාවට භාජනය විය. සාවධාන, තැන්පත් හා අධිෂ්ඨානශීලී කතා විලාශය, දේශන සඳහා වූ තේමා එකිනෙක ප්‍රවේශමෙන්, සංයමයෙන්, චතුර ලෙස හා මනා වැටහීමකින් යුතුව හඳුන්වාදුන් විලාශය, සභාව ආමන්ත්‍රණය කිරීමේ දී අඛණ්‌ඩ ශ්‍රාවක අවධානය ලබාගැනීමේ දක්‌ෂතාව යනාදිය විසින් ඔහු අනුපමේය විශිෂ්ටයකු බව ඔප්පු කළේය. ඒ බවට ඔහුගේ දේශනය අවසානයේ දී ඔහු ලද ශ්‍රාවක ප්‍රතිචාරය සාක්‌ෂි දරයි. මෙහිලා නොවරදවා සඳහන් කළ යුතු කරුණක්‌ වන්නේ එක්‌ වචනයකින් පැවසිය හැකි දෙයක්‌ වෙනුවෙන් ඔහු කිසි විටෙකත් වචන දෙකතුනක්‌ යොදා නොගැනීමය. එමෙන්ම ඔහු එක්‌ කරුණක්‌ පුන පුනා නොකීම ද ඔහුගේ කථන ප්‍රතිභාව පෙන්නුම් කරන ලද සාක්‌ෂියකි. කතාවේ හරය බැරෑරුම් ලෙස, එහෙත් සැකෙවින්, ගෙන නිසි ඉලක්‌කය කරා ගෙන යැමට ඔහු දක්‌වන ලද හැකියාව අසමසම බව සඳහන් කළ යුතුය.

සහභාගී වූවන්ගේ සිත් තුළ වියතුන්ගේ ආකල්ප, දායකත්වය හා කාර්යභාරය යනාදිය පිළිබඳව මහත් බලාපොරොත්තු දැල්වීමට එම දේශනය සමත් වූ අතර අප රට නිවැරදි දිසාවකට ගෙනයා හැකි බවත් ඒ සඳහා කැපවීමට සැමට අවකාශ ලැබෙන බව කාහටත් හැඟී ගියේය. ඒ තුළින් සහභාගී වී සිටියවුන් මහත් අනුප්‍රාණයක්‌ ලැබුවා නිසැකය. මෙම සම්මේලනයෙන් අනතුරුව සහභාගී වී සිටි සියලු දෙනා තුළ රට ගැන මහත් අභිමානයකින් ද අනාගතය පිළිබඳව මහත් අපේක්‌ෂාවකින් ද සල්ලාපයේ යෙදී සිටීමෙන් පසක්‌ වූයේ වියතුන් එකට ගැටගැසෙන සහභාගිත්ව සංවර්ධන අවස්‌ථාවක්‌ අප රටට උදාවන බවය.

මෙතෙක්‌ මා ලද මෙවැනි අත්දැකීම් සමග සසඳා බලන විට මෙම සම්මේලනය විසින් මා ද බෙහෙවින් විශ්මයට පත් කරනු ලැබීය. සම්මේලන ශාලාවේ ඉඩ පහසුකම් සීමා වූයෙන් සහභාගී කරගන්නා ලද පිරිස දැඩි සේ සීමා කොට තිබුණු බව නොරහසකි. එහෙත් ආරාධනා නොමැතිව සම්මේලන ශාලාවට ඇතුළු වීමට පිරිස්‌ පොදිකනු දක්‌නට ලැබුණි. ගෝඨා ගත් වියත් මග පිළිබඳව වියතුන්ගෙන් නන්දෙසින් පැසසුම් ගලා විත් එය සමාජ කතිකාවක්‌ බවට වර්තමානයෙහි පත්ව ඇත. රජයේ අමාත්‍යවරුන් පවා ගෝඨා ගත් මගෙහි වැදගත්කම ප්‍රසංශාභිමුඛයෙන් සඳහන් කිරීමට පෙළඹී තිබීම ඔහුගේ මගෙහි එක වැදගත් සංධිස්‌ථානයක්‌ දැනටමත් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. වියත් මග අප රටේ නිවැරදි ගමන් මග බව දැනටමත් බහුතරයකගේ මතය බවට පත්ව තිබේ. පක්‌ෂ පාට භේදයකින් තොරව විද්වත් සැමට සහභාගී වී අදහස්‌ දැක්‌වීමටත් ප්‍රතිපත්ති සැකසීමටත් තෝතැන්නක්‌ ලෙස සකසා ඇති වියත් මග නම් ජාතික මට්‌ටමේ බුද්ධි මණ්‌ඩලය විසින් රටේ අනාගත අභිවෘද්ධිය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන වියත් සැමට එහි ස්‌වේච්ඡා සාමාජිකයකු වීමේ දොරටු විවර කොට ඇති බව සඳහන් කළ යුතුය.

මහාචාර්ය මිල්ටන් රාජරත්න



1184 Viewers