• Home »
  • Sinhala »
  • ජනාධිපතිතුමා අද රට වෙනුවෙන් සෘජු තීරණ ගන්නවා

ජනාධිපතිතුමා අද රට වෙනුවෙන් සෘජු තීරණ ගන්නවා

44c26afa1b
ශ්‍රී ලංකාවේ ඒකීය බව නමට පමණක් තිබීම ප්‍රමාණවත් නැති බවත් බෙදුම්වාදීන්ගේ සහ ජාත්‍යන්තර මැදිහත් වීම් අනවශ්‍ය බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සංස්කාරක නීතිඥ ගැමුණු කරුණාරත්න ප්‍රකාශ කෙළේය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (1දා) මහජන පුස්තකාලයේ දී ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
එහිදී ගැමුණු කරුණාරත්න මහතා මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බව නොතකා ඇතැම් විදේශ රටවල් කරන බලපෑම් අපි ප්‍රතික්ෂේප කරනවා. පරමාධිපත්‍ය ජනතාව සතුයි. එසේ නම් ඇයි පිටස්තර බලවේග ඊට සම්බන්ධ වෙන්නෙ?

ශ්‍රී ලංකාවේ ඒකීය බවට විරුද්ධව බෙදුම්වාදීන් කටයුතු කරනවා. නව ව්‍යස්ථාව මඟින් මේ රට ‘ඔරුමිත්තනාඩු’ කියල හඳුන්වා දී තිබෙන්නෙත් ඒ සඳහායි. රට තුළ සිටින සහ විදේශවල සිටින බෙදුම්වාදීන් ඊට අනුබල දෙනවා. ශ්‍රී ලංකාව නමින් පමණින් නෙවෙයි ක්‍රියාවෙනුත් ඒකීය විය යුතුයි.

සංහිඳියාව ගෝලීය ශ්‍රී ලංකා සංසදය අගය කරනවා. කර්නල් රත්නප්‍රිය බන්දු ජිනීවා එක්කගෙන යමින් සැබෑ සංහිඳියාව ගැන අදහස් දැක්වීමට අප බලාපොරොත්තු වෙනවා. ප්‍රායෝගික විදියට සංහිඳියාව කුමක්ද කියලා ඔප්පු කළ අයට ඒ සඳහා සහාය දෙන මෙන් වත්මන් රජයෙනුත් අපි ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාව අස්ථාවර රටක් කියල විදේශ රටවලට ගිහින් කියන විට ඒ රටවල් සරණාගතභාවය ලබා දීමට සලකා බලනවා. ඒක ශ්‍රී ලංකාවට කැළලක්.

විවිධාකාරයෙන් ලෝකයේ රටවල් බෙදන්න කටයුතු කළ ආකාරයන් ලෝකයේ තිබෙනවා. සයිප්‍රසයත් එවැනි උදාහරණයක්. උතුර වෙන්කර ගැනීමට උතුරට පමණක් සීමා වූ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේද පවා ක්‍රියාවට නැංවිය හැකියි. එවැනි අනතුරු හඳුනාගෙන නව ගමනක් යෑමට හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශලින්ද්‍ර වික්‍රමාරච්චි
රටේ ඇති වී තිබෙන දේශපාලන සමාජ ව්‍යාකූලත්වය හමුවේ රටේ අභ්‍යන්තර කටයුතුවලට විදේශ මැදිහත්වීම් අපි හෙළා දකිනවා. පසුගිය වසර තුනහමාර තුළ මේ රටේ පාලකයන් ජාත්‍යන්තරය හමුවේ නිහීන විදියට හැසිරීමේ ප්‍රතිඵලයක් තමයි ඒක.

අපි ස්වෛරී රාජ්‍යයක් බව පෙර සිටි පාලකයන් කැමැත්තෙන් අමතක කිරීමේ ප්‍රතිඵල අද භුක්ති විඳින්න වෙලා. අපේ රට තවදුරටත් විදේශ කොළනියක් නෙවෙයි. ඒක තේරුම් ගෙන වැඩකළ යුතුයි.

පසුගිය කාලයේ පැවැතියේ බෞද්ධ සංස්කෘතිය හඳුනා නොගත් ඊට ගරු නොකළ ආණ්ඩුවක්. හාමුදුරුවන් පවා සිරගත කරමින් තමයි ඔවුන් පාලනය ගෙන ගියේ.
ගෝලීය ශ්‍රී ලංකා සංසදය ආරම්භ කළේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම, රණවිරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වැනි පොදු පරමාර්ථ වෙනුවෙන්. ඒකට පක්ෂ දේශපාලනයක් නැහැ. තිබෙන්නේ ජාතික න්‍යායපත්‍රයක්.

විදේශවල ජීවත් වන, රැකියා කරන දේශප්‍රේමී එකමුතුවකින් යුතුව ගෝලීය ශ්‍රී ලංකා සංසදය රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මානව හිමිකම් අභියෝගයට මුහුණ දීමේදී ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් පෙනී සිටිනවා.

ලබන මාර්තු මාසයේදීත් අපට විශාල අභියෝගයක් තිබෙනවා. පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා අපේ රටේ අභිමානයට කැළලක් වුණා. ඒක ආරක්ෂා කර ගැනීමට නව ආණ්ඩුවට වගකීමක් තිබෙනවා.

බෙංගමුවේ නාලක හිමි
ආණ්ඩුවක් කළ යුතු දේ තමයි ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජාත්‍යන්තරය තුළ සිදු කරන්නේ. පසුගිය වසර තුනහමාර තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ කොලනියක් බව සිතාගෙනයි කටයුතු කළේ.

අද ජනාධිපතිතුමා ඍජු තීරණ ගන්නවා. එවැනි නායකයන් තමයි අපි රැකගත යුත්තෙ. රනිල් වික්‍රමසිංහ වැනි මිනිස්සු මේ රටට තවදුරටත් අවශ්‍ය නැහැ.

දෙනගම ධම්මික රණවීර



733 Viewers