• Home »
  • Sinhala »
  • ජාතික ව්‍යාපාරය ප්‍රගුණ කළ යුතු කඹ ඇඳිමේ තියරිය

ජාතික ව්‍යාපාරය ප්‍රගුණ කළ යුතු කඹ ඇඳිමේ තියරිය

(Courtesy of Aruna)

මතක තියාගනිල්ලා,

කවදා හරි රනිල්ලා, චන්ද්‍රිකාලා දේශපාලන වේදිකාවෙන් බැහැල යනවා.
උන් යන්නේ උන්ට වඩා සංහිදියා කාරයෝ ටිකක් බෝ කරලා.
සිංහල බෞද්ධයෙක් කියලා කට ඇරලා කියන එක ලැජ්ජ්වක් කරවලා..

ඊට පස්සෙ උන්ගෙ සමුළුවල
පන්සිල් ගන්න බෑ කියාවි,
ජාතික කොඩිය ඔසවන්න බෑ කියාවි..

උන් කියාවි සිංහලයත් දෙමළගෙත් මුස්ල්මානුවාගෙත් භූමි පුත්‍ර අයිතිය එකක් කියලා

උඹලා පාර්ලිමේන්තුවට ඔක්කොම විසඳන්න පුලුවන්  කියලා හිතාගෙන
පක්ෂ වලට බෙදිලා
සංහිදියා කාරයන්ගෙන් ඒක පුරවාවි.

පළාත් සභා, ස්වාධීන කොමිසන් නැති ආණ්ඩු ක්‍රමයක් ගැන උන්ට හිතා ගන්නත් බෑ. සිංහල කම ගැන ඉතිහාසය  ගැන කතා කිරිම දඬුවම් ලැබිය හැකි වරදක් වේවි.

අනගාරික ධර්මපාලතුමා අද ජිවතුන් අතර සිටියා නම් 2019  ජනාධිපතිවරණය සම්භන්ධයෙන් කියනු ඇත්තේ මෙවැනි කතාවකි. රනිල් වික්‍රමසිංහ ජනතාව අතින් කොයිතරම් බරපතල ආකාරයෙන් පරාජයට පත්වුවද , ඔහු සේවය කල මෙරට සංස්කෘතියේ අක්මුල් ගලවා දමන  ඊනියා සංහිදියාව, බහු ජාතික විකාරය සාර්ථකව සමාජගත කරන්නට ඔහු සමත් වීඇත. ඒ අර්ථයෙන් චන්ද්‍රිකාත් රනිලුත් චෙල්වනායගම්ලාගේ, සුන්දරලිංගම්ලාගේ හා අමිර්තලිංගම්ගේ බෙදුම්වාදි  උවමනාව ජයග්‍රහණය කිරිමට උරදී ඇත.

1948 දි බ්‍රිතාන්‍යයන් මෙරටින් පිටව යද්දි අධ්‍යාපනය, දේශපාලන ව්‍යුහය හා සංස්කෘතිය මගින් සුද්දාටත් වඩා ඉහළින් බටහිර ක්‍රමය පිළිගත් අපේම  පිරිසක් බිහි කලේ යම් සේද , ඊනීයා සංහිදියාව සහ සුළු ජාතික අඬවැඩියාව, ජාතික ව්‍යාපාරයේ දැවන්තයන්ගේද අත පය ගැට ගසන මානසික බාධාවක් බවට පත්ව ඇත. පන්සිල් ගැනිම අන්‍ය ආගමිකයන්ට අසාධාරණයක් බවත් නැතිනම් කාලය කා දැමීමක් බවත් ජාතික ව්‍යාපාරයටම හිතෙන්නට සැලැස්වවීම විජාතික ව්‍යාපාරයේ ජයග්‍රහණයකි.

විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති මේ අවස්ථාවේදි ජාතික ව්‍යාපාරය සිය අභිලාෂයන් ප්‍රකාශයට පත් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිරවුල් මතයක් නැති බව පෙනේ. තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කර නැත්නම් , තම මතවාදය නියෝජනය කරන චන්දදායකයාට මග පෙන්වීම සඳහා යම් දේශපාලන නිර්ණායකයන් කිහිපයක් හඳුන්වා දීම ජාතික ව්‍යාපාරයේ වගකීමයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරිමේදි ඒකීය රාජ්‍ය රැකීම හා බුදු දහමට මුල් තැන දීම අනිවාර්ය පුර්ව සාධකයක් වන අතර එය අවසාන ජයග්‍රහණය නොවේ. එකී පුර්ව කොන්දේසිය සැපිරිමේදි එල්.ටී.ටී.ඊ ත්‍රස්ත්‍රවාදය පරාජයට පත් කිරිමත් , රනිල් වික්‍රමසිංහ රජය ගෙන ගිය භික්ෂුන් වහන්සේලා සහ රණවිරු දඩයමත් හේතුවෙන් , අනෙක් අපේක්ෂකයන් අභිබවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ව්‍යාපාරයට සමීපතම අපේක්ෂකයා ලෙස තේරිම තර්කානූකූලවේ. එහෙත් ජාතික ව්‍යාපාරය, මේ මැතිවරණයේදි සිය භාවිතාව හා උපාය මාර්ගය තේරිය යුත්තේ 2025 දි සංවිධානාත්මක ජාතික ව්‍යාපාරයේ දේශපාලන ව්‍යපෘතියට අනුකූලවය.

පොහොට්ටුව හෝ අද පවතින කිසිදු පක්ෂයක් හෝ දේශපාලන ව්‍යාපාරයක් ජාතික මතය නිවැරදිව නියෝජනය නොකරන හෙයින් වඩා සංවිධානාත්මකව හා ස්වාධීනව බිම් මට්ටමේ සිට  සංවිධානය වීමට නම්  එකී දිනා ගත යුතු ජනතාවගේ විශ්වාසය රැකීම පළමු අවශ්‍යතාව වේ. පාවාදීම් හා විකිණිම් වලින් හෙම්බත් වු මෙරට සිංහල බෞද්ධයාගේ පළමු උවමනාව පක්ෂ දේශපාලනයට කඩේ නොයන , මිලට ගත නොහැකි ජාතික බලවේගයකි.

ජාතික ව්‍යාපාරයේ බොහො දෙනා ගෝඨාභයගේ හෝ මහින්දගේ වේදිකාවේ බැබලෙන්නේ මහත් වු ආශාවකිනි. ජාතික ව්‍යාපාරය එවැනි වේදිකාවකට ගොඩ වීමෙන් ගෝඨාභයට අලුතින් එකතුවන කිසිවක් නැත. ජනප්‍රිය ජාතිකවාදයේ ඔස්තාජ් වන මහින්ද රාජපක්ෂ වෙත ආකර්ෂණය වු ජනප්‍රිය ජාතිකවාදින් අමාරුවෙන් නැවත හරවන්නට දෙයක් නැත. මහින්දගේ වේදිකාවේදි ජාතික ව්‍යාපාරයේ කථිකයකුට නැගෙන ඔල්වරසන් හඬ ජාතික ව්‍යාපාරයට අයිති එකක් යැයි සිතීම, සිංහයා සමග ගිය නරියාට කැලේ අනෙක් සත්තු කල ගෞරවය නරියා විසින් තමන් වෙත දැක්වු ගෞරවයකැයි යැයි සිතිම හා සමාන තාවකාලික වින්දනයකි. ජාතික ව්‍යාපාරය මහින්දගේ වේදිකාවෙන් බැස ගියද , එසේ ඉවත් වන්නේ ජනප්‍රිය ජාතිකවාදින් මහින්දගේ වේදිකාවෙම ඉතුරු කර ම්න් ය. වෙනත් ආකාරයකින් කියනවා නම් , ජනප්‍රිය ජාතිකවාදින් මහින්ද සමගම  දිගටම රැඳෙනු ඇත. මහින්දගේ වේදිකාවේ ජාතික ව්‍යාපාරයට ඇත්තේ තාවකාලික ආරාධිත රංගනයක් පමණි. මැතිවරණයෙන් පසුව උපයාගත් දෙයක් නොමැතිව ඉතිරි කර ගත් දෙයක් නොමැතිව ඊළග මැතිවරණය තෙක් මාධ්‍ය සාකච්ඡා පැවත්වීම පමණක් එහි උරුමය බවට පත්වේ.

එසේ නම් ජාතික ව්‍යාපාරයේ ආමණ්ත්‍රණය විය යුත්තේ කාටද? සැබෑ ලෙසම මෙරට සිංහල බෞද්ධ භූමි පුත්‍රයාට හිමි විය යුතු අයිතිවාසිකම් වෙනුවෙන් පක්ෂ පාට වලින් අන්ධ නොවු දේශපාලන බලවේගයක් නිර්මාණය විය යුතු යැයි සිතන ජනකොටසටයි. ඊට අමතරව සියලු පක්ෂ ප්‍රතික්ෂේප කරන දේශපාලන රික්තය ඩැහැ ගැනීමට බලා සිටින් මහේෂ් සේනානායකලා, නගාහන්න්දලාට ගොදුරු විය හැකි පිරිසයි. පවතින ක්‍රමය පිළිබඳව විවේචනයක් ජාතික ව්‍යාපාරයටත්, ජව්පෙටත්,  නාගහනන්ද සහ මහේෂ් සේනානායක වැනි කොටස් ඇතුලු සියලු දෙනාට තිබේ. චන්දය දීමට වැදගත් වන්නේ විවේචනය නොව පවතින අර්බුදය විග්‍රහා කරන මතවාදි දාර්ශ්ද්නික්  පදනම සහ එයට යෝජනා කරන ප්‍රායෝගික විසඳුමයි. එවගේම එම විසඳුම ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ අතීත කැරැටුටුව, කැපවීම සහ හැකියාවයි. වැඩ පිළිවෙලක් , කැපවීමක් නැති දූෂිත චරිත විසින් මහින්ද රාජපක්ෂ යුගයේ පැවති විවේචන හුදෙක් පාරුවක් කරගෙන  යහපාලනයේ නමින් රට   අනාථ කළ උදාහරණය අපට වැඩි ඈතක නොවේ.

ඊනීයා පක්ෂ හා පාර්ලිමේන්තු ක්‍රමය විසින් කුණු කරන ලද ලාංකීය දේශපාලන මනස තුල ජාතික ව්‍යාපාරයට හිමිව ඇත්තේ ඉතා සුළු වපසරියකි. ඒ වෙනුවෙන් හුරේ දමන්නට, ඔල්වරසන් දෙන්නට මුහුණු පොතේ ලයික්ස් දාන්න, මාධ්‍යවල වොයිස් කට් දෙන්නට මහා ජනප්‍රියතාව ක් මැතිවරණයෙන් අන්ධභූත වූ සමාජය තුල ඉඩක් නැත. නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් යටි සිතින් අධිෂ්ඨාන කරන ඒ පිරිසට විශ්වාසයක් ලබා දෙමින් එම කුලකය ප්‍රවර්ධනය කිරිමට මේ මැතිවරණය ආයෝජන කල යුතුය. ඒ අභීලාෂය සහා අපේක්ෂාව,චමිපික රණවකලා රතන හිමියන් විසින් මංකොල්ල කෑ පරිදෙදෙන්ම, වෙනම තැනක ගොනුකර බන්දේසියක තබා පොහොට්ටුවට පූජා කිරිමේ ඓතිහාසික පාවාදීම නොවීමට ජාතික බලවේගය වගබලා ගතයුතුය.

මැතිවරණ වේදීකාවේ රැල්ලේ පාවෙන සටන්පාඨ වලට කරගැසිමට වඩා ජාතික අභිලාෂයන්ට සමපාත මතවාදයක් වෙනුවෙන් මැතිවරණ උණුසුම භාවිත කල යුතුය.

දෙමළ බෙදුම්වාදයේ උපාය මාර්ගය වුයේ පියවර තුනක් ඉදිරියට යමින්  දෙකක් පසුපසට ගැනීමයි.  ඒ අතින් ඔවුන් සැමවිටම ඉදිරිගාමි ප්‍රවේශයක පසුවෙති. පණහට පණහ, සංවර්ධන සභා හරහා මේ වන විට ඔන්න මෙන්න ෆෙඩරල් ක්‍රමයක් වු පළාත් සභා දක්වා දෙමළ අන්තවාදය පැමිණ ඇත්තේ මේ උපාය මාර්ගය ඔස්සේයි. ෆෙඩරල් ක්‍රමයක් හරහා වෙනම රාජ්‍යයක් කරා යෑම එහි ඊළග අදියරයි. මේ වන විට පිළිකාවක්  වී පවතින ඊනීයා සංහිදියා මානසිකත්වය තුල සිංහල බෞද්ධයාගේ උරුමය වෙනුවෙන් කතා කිරිමට ජාතික ව්‍යපාරයත් අසමත් වේ නම් ඒ නියෝජනය අපේක්ෂා කල හැක්කේ කුමන වේදිකාව තුලද? කඹ ඇඳීමේ තරඟයකදි  ප්‍රතිවාදියා තමන්ගේ පැත්ත්ට ඇද ගැනීමට නොහැකි නම් අවම වශයෙන් තමන්ගේ  අන්තය, තදින් අල්ලා ගැනීමෙන් පමණක් ,  අනෙක් අන්තයට ඇදි යාම වැලැක්වීම කළ හැකිවේ. තණ තීරුව ජාතික ව්‍යාපාරයට අවාසිදායක නම්, සංවිධානය  වීමට කාලය අවශ්‍ය නම් , ජාතික ව්‍යාපාරය සිංහල බෞද්ධ ස්ථාවරය තදින් අල්ලාගෙන සිටිම අද දවසේ හෙට වෙනුවෙන් කල යුතු අනිවාර්ය වගකීමයී.

 

නීතිඥ නුවන්  බැල්ලන්තුඩාව



328 Viewers