ජාතිවාදය
කෙළිලොල් ඇය දුම්රිය මැදිරියට නැඟ හිස් අසුනක හිඳ ගත් සැනින් සිය ජංගම දුරකථනය මුවට ලං කර ගත්තා ය. පිටුපස අසුනෙහි සිටි නරුම ඔහු සිය කබාය තුළින් පිහියක් ගෙන මදක් පසු බා නැවත නැගිට ඇයගේ ලයට කිහිප විටක් ඇන්නේ ය. ඇය ඔහු දෙස විමතියෙන් බලා තමා හට කුමක් වීදෝයි සිතා ගත නොහැකිව ලය බදා හැඬුවා ය. ඔහු ලේ බිඳු සලන පිහිය අතැතිව මැදිරියේ ඉදිරියට ඇවිද ගියේ ය. ඇය අසුනේ පසෙකට බර වී ඉදිරිපස බිමට වැටී සිය රුධිරයේ ගිලී මිය ගියා ය. පෙරේදා සිද්ධ වූ මෙම සත්‍ය සිදුවීමේ දර්ශන පැය කිහිපයකින් ලෝකය පුරා විසිරී ගියේ ය.
ඇය යුක්‍රේනයේ සිට ඇමරිකානු සරණ සොයා පැමිණි වයස අවුරුදු 23 ක තරුණියකි. ඔහු ඇමරිකාවේ උපන් වයස අවුරුදු 34 ක ඇමරිකානු කළු ජාතිකයෙකි. කවුරු කෙසේ කීවත් මේ වනාහි ඇමරිකානු සමාජයේ පවතින කළු-සුදු භේදයේ තවත් එක් සහාසික ප්‍රකාශනයකි. ඇමරිකාවට කිසිදා ගොස් නොමැති ලංකා දිවේ ගුඩ්ඩ වැසියන් සිය බුද්ධිමය දිළිඳුකම හේතුවෙන් මහා ඉහළින් වණන ඇමරිකානු සමාජයේ දුෂ්ට යථාර්ථය මෙයයි. ඇමරිකාවේ පමණක් නොව, ඕනෑම රටක මෙම ජාති භේදය තිබේ. ලෝකය දෙස විවෘතව බලන්නෙකුට ඒ බව හොඳින් පෙනේ. ‘We are all Americans’ වැනි කථා තේරුමක් නැති හිස් කථා ය.
නමුත් ලංකාවේ මෙම ජාති භේදය සාපේක්ෂව අවම ය. සිහලුන් දෙමළුන්ට දුම්රියේ පිහියෙන් අනින්නේ හෝ දෙමළුන් සිහලුන්ට දුම්රියේ පිහියෙන් අනින්නේ හෝ නැත. ඔවුන් එකට එහෙ මෙහෙ යති එති. කති බොති. තම තමන්ගේ වැඩ කර ගනිති. නමුත් එක්තරා පිස්සු දෙමළෙක් වසර තිහක් තිස්සේ සිහලුන් සොය සොයා ඝාතනය කළ කාලයක් විය. එම බිහිසුණු යුගය අවසන් වී සිංහල දෙමළ මුස්ලිම් ජාතිකයන් ජාති ඝාත බියෙන් තොරව ජීවත් වීමට පටන් ගත්තේ ය. නමුත් ටික කලකින් අර පිස්සු දෙමළාගේ චෛතසික කුණු බීජයෙන් උපන් යක්ෂාත්ම සහිත කොල්ලන් සහ කෙල්ලන් කර දඬු උස්මහත් වී ම්ලේච්ඡ අරගලයක් කෙරුවෝ ය. ගැහැණුන්ගේ ඇඳුම් ඉරා මහමග ඇද ගෙන ගොස් අපයෝජනය කර වැවක ගිල්වා දැම්මෝ ය. යකුන් ය ඔවුන් දුර්දාන්ත.
ඒ යකුන්ගේ මහා උන් නැවත ලක් සමාජය භේද බින්න කරමින් සිටී. වෛරයේ බීජ වපුරමින්, ද්වේශයේ විස පොවමින්, භීතියේ සැතින් කට කපමින් ලක් සමාජයේ සෑම මිනිසෙකුටම කොඩිවින බඳිමින් සිටී. මෙය කෙළවර වනු ඇත්තේ නැවතත් සිංහල දෙමළ මුස්ලිම් ජාති භේද බිලි පූජාවකිනි. එය පෙර යුගයට වඩා බිහිසුණු වනු ඇත. උපතින් ම කරුමක්කාර මුග්ධ මනුෂ්‍යන් සහිත මෙම කුරිරු සමාජයේ පිහි ඇනුම් කා තනිව හඬනු හැර වෙන කුමක් කරන්නද… ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ
2025 සැප්තැම්බර් 11
11 Viewers





