• Home »
  • Articles »
  • මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික යුද්ධ හමුදාධිපති

මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික යුද්ධ හමුදාධිපති

මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් ඇන්ටන් මුතුකුමරු මහතා.

කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු වයස අවුරුදු 28 දී එංගලන්තය බල ගොස් එහිදී බැරිස්ටර්වරයකු බවට පත් විය. නැවත මෙරට බලා පැමිණි මුතුකුමරු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අද්වකාත්වරයකු ලෙස දිවුරුම් දුනි.

1934 වසරේදී ලංකා ආරක්ෂක හමුදාවට (Ceylon Defence Force) සම්බන්ධ වෙමින් සිය හමුදා ජීවිතය ඇරඹූ මුතුකුමරු මහතා පසුව ලංකා පාබල හමුදාවේ (Ceylon Light Infantry ) දෙවන ලුතිනන් වරයකු ලෙස පත් විය.දෙවන ලෝක යුධ සමයේ කැපී පෙනෙන මෙහෙවරක නිරත වූ එතුමා 1940, 1942, 1943 යන වර්ෂයන්හිදී පිළිවෙලින් කපිතාන් වරයකු මේජර් වරයකු සහ ලුතිනන් කර්නල්වරයකු ලෙස උසස්වීම් ලැබීය. 1946 ලෝක යුධ ජයග්‍රහණයෙන් පසුව බ්‍රිතාන්‍යයේ පැවැති විජයග්‍රහණයේ සැමරුමෙහි මෙරට හමුදා කණ්ඩායමට අණදුන්නේ ද මුතුකුමරු  මහත්මායි.

බ්‍රිතාන්‍යයේ පැවැති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුදා පුහුණු පාසැලේදී ෆීල්ඩ් මාෂල් බර්නාඩ් ලෝ මොන්ට්ගෝමරි යටතේ පුහුණුව ලැබූ ඒ මහතා කෙටි කලක් බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධරයකු ලෙස බටහිර ජර්මනියෙහි රාජකාරි කළේය.

1955 වසරේදී බ්‍රිගේඩියර් නිළයට උසස් වීම් ලද ඇන්ටන් මුතුකුමරු මහතා මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික යුද්ධ හමුදාධිපති ලෙස පත්වීම් ලැබීය. ඉන් තෙවසරක් ඇවෑමෙන් මේජර් ජෙනරාල් නිළයට උසස්වීම් ලද ඔහු යුද්ධ හමුදාව තුළ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් ඇති කළේය.

යුද්ධ හමුදාවට බඳවා ගන්නා ප්‍රමාණය වැඩි කළ ඔහු දියතලාව යුධ හමුදා කඳවුර පුහුණු මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කළේය.  ලංකා සිංහ රෙජිමේන්තුව (Ceylon Sinha Regiment ) පිහිටවූ අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වල හමුදා කඳවුරු පිහිටවීමද ඔහුගේ අදහසක් විය.

1959 වසරේදී සිය විශ්‍රාම යාමේ අදහස ඉදිරිපත් කළ විට තවදුරටත් යුද්ධ හමුදාධිපති ධුරය හොබවන ලෙස එවකට අගමැතිව සිටි එස්.ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක මහතා කරන ලද කාරුණික ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මුතුකුමරු මහතා පැවසුවේ තම කණිෂ්ඨ නිළධාරීන්ට අවස්ථාව ලබා දිය යුතු නිසා ධුරයෙන් විශ්‍රාම යන බවයි.

හමුදාධිපති ධුරයට සමු දුන් පසු  පාකිස්තානය ඕස්ට්‍රේලියාව ,නවසීලන්තය යන රට වල ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයත් ඊජිප්තුව ජෝර්දානය සුඩානය සහ යුගොස්ලෝවියාව යන රටවල ශ්‍රී ලංකා තානාපති ධුරයත් දරමින් මාතෘභූමිය උදෙසා සිය මෙහෙවර ඉටු කළේය. ශ්‍රී ලංකාවේ යුධ ඉතිහාසය නමින් ග්‍රන්ථයක් ද එතුමන් අතින් ලියැවිණි.

වර්ෂ 1996 දී කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලය විසින් එතුමන්ගේ මෙහෙවර අගයනු වස් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

2001 වසරේදී ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වූ මේජර් ජෙනරාල් ඇන්ටන් මුතුකුමරු මහතා මිය යන විට 93 වන වියේ පසු විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවතින තාක් එතුමන් කළ මෙහෙවර කාලයේ වැලි තලාවෙන් මැකී නොයනු ඇත.

M. Pathirana

උපුටා ගැනීමකි.

ප.ලි
2020-ඡුලි’-06 දින 112 වන එතුමා ගේ ජන්ම දින සැමරුම ට පල කරන ලද ලිපියකි,(අතීතාවර්ජනා)
උපුටා ගැනිමකි 



9 Viewers