• Home »
  • Articles »
  • දේශපාලනයේදී ස්ථිර මිතුරන් හෝ ස්ථිර සතුරන් නොමැත.

දේශපාලනයේදී ස්ථිර මිතුරන් හෝ ස්ථිර සතුරන් නොමැත.

කටාර් රාජ්‍යයට පහර දුන්නේ ඇයි?

කටාර් රාජ්‍යය… මේ නම ඇහෙන කොට අපේ මනසට එන්නේ රත්තරන් පාට වැලි තලාවන්, අහස උසට නැඟුණු වීදුරු ගොඩනැඟිලි, සහ FIFA ලෝක කුසලානයේ උණුසුම. කටාර් කියන්නේ පුංචි රටක් වුණත්, ලෝකයේම ඉහළම ඒක පුද්ගල ආදායමක් තියෙන, හරිම ධනවත් රටක්. ඔවුන් මේ ධනය පාවිච්චි කරන්නේ, තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න සහ ලෝකයේ දේශපාලනික වශයෙන් බලපෑමක් ඇති කරන්න.  ඒත් පසුගිය දිනවල ඊශ්‍රායලය, හමාස් සංවිධානයේ නායකයන් ඉලක්ක කරගෙන කටාර් රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල කළා.එය ලොව පුරා හරිම සංවේදී මාතෘකාවක් වුණා. මොකද මේක හුදෙක් එක් ප්‍රහාරයක් විතරක් නෙවෙයි, යුද ඉතිහාසයේ අලුත් පිටුවක්.

මධ්‍යම රාත්‍රියේ අන්ධකාරය මැද, ඊශ්‍රායලයේ ගුවන් කඳවුරක නිශ්ශබ්දතාව බිඳිමින්, ප්‍රහාරක ජෙට් යානා 15ක් විතර ගුවන් ගත වුණා. ඔවුන්ගේ ගමනාන්තය කිලෝමීටර් 2,000ක් දුරින් පිහිටි දෝහා නගරය. මේක හිතන තරම් පහසු ගමනක් නෙවෙයි. සම්පූර්ණ අවි ආයුධ වලින් සන්නද්ධ ප්‍රහාරක යානා වලට මේ තරම් දුරක් එක දිගට යන්න ඉන්ධන මදි. ඒක නිසා, අහස මැදදී හමුවුණු දැවැන්ත Boeing 707 ඉන්ධන පිරවුම් යානා ඔවුන්ට උදව් කළා..

මේ ඉන්ධන පිරවීම සිදුවුණේ, කිසිම රටක රේඩාර් වලට අහුවෙන්නේ නැති, ඉතාම රහසිගත ගුවන් සීමාවකදී. ඒ වගේම මේ මෙහෙයුම මෙහෙයවලා තියෙන්නේ, ලෝකයේ අති නවීනම ප්‍රහාරයක යානයක් වන F-35 ස්ටෙල්ත් යානයකින්. එහි තාක්ෂණය නිසා, ඒක හරියට අන්ධකාරය මැදින් නොපෙනෙන සෙවණැල්ලක් වගේ යන්නේ. ඒ නිසා  මැදපෙරදිග කලාපයේ තියෙන දියුණු ගුවන් ආරක්ෂක පද්ධති වලට මේ යානා අඳුනගන්න බැරි වුණා.

දෝහා නගරයට ඇතුළු වුණු මේ යානා, හරිම වැදගත් ගොඩනැගිල්ලක් ඉලක්ක කළා. ඒක පේළියට තිබුණු ගොඩනැගිලි පහෙන් එකක්. ඒක ළඟම තෙල් පිරවුම්හලකුත් තිබුණා. ඊශ්‍රායලයේ අරමුණ වුණේ, ඒ නිවාසයේ හිටපු හමාස් නායකයන් ඝාතනය කරන එක. අති නවීන ඇමරිකානු බෝම්බ දහයක් විතර එකවරම, එකම ඉලක්කයට මුදා හැරියා. හරිම පුදුමයි, ඒ ප්‍රහාරයෙන් ඒ ගොඩනැගිල්ල විතරක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, ළඟම තිබුණු ගොඩනැගිලිවලටවත්, ඒ තෙල් පිරවුම්හලටවත් කිසිම හානියක් වෙලා නැහැ.

මේක හරියට, විනාශ කරන්න ඕනේ කොටස විතරක් කපලා ගත්තා වගේ වැඩක්. මේ සඳහා GBU-38 JDAM (Joint Direct Attack Munition), Spike ලේසර් මාර්ගෝපදේශක බෝම්බ, හෝ Rampage මිසයිල වැනි නිරවද්‍ය ආයුධ 10ක් විතර එකවරම යොදාගෙන තිබෙනවා. මේ බෝම්බ, ඉලක්කය නිවැරදිව හඳුනාගෙන, තමන්ගේ ගමන් මග නිවැරදි කරගෙන, නියමිත ස්ථානයේදී පමණක් පුපුරනවා. මේ මෙහෙයුම තාක්ෂණික වශයෙන් සාර්ථක වුණත්, එයට එහි ප්‍රධාන අරමුණ වන නායකයන් ඝාතනය කිරීමේ කාර්යය සාක්ෂාත් කරගන්න බැරි වුණා කියලා කියන්න පුළුවන්. ඒත්, මේ ප්‍රහාරයෙන් ඇති වුණු දේශපාලනික සහ මනෝවිද්‍යාත්මක බලපෑම් විශාලයි.

ඊශ්‍රායලය මේ ගොඩනැගිල්ල ගැන දැනගත්තේ කොහොමද? මේක හැමෝම අහන ප්‍රශ්නයක්. මේක හරියට  චිත්‍රපට කතාවක් වගේ. 2023 ඔක්තෝබර් 7 වැනිදා ගාසා යුද්ධය පටන් ගත්තාට පස්සේ, කටාර් රාජ්‍යයේ ආරක්ෂක අංශ, මේ ගොඩනැගිල්ල වටේට ආරක්ෂාව තර කරලා තිබුණා. මේකෙන් ඊශ්‍රායලයේ Shin Bet බුද්ධි අංශයට තේරුණා, මේ ගොඩනැගිල්ල හරිම වැදගත් කියලා. ඔවුන් ඒ ගැන විවිධ බුද්ධි තොරතුරු එකතු කරන්න පටන් ගත්තා. දුරකථන සංවාද, චන්ද්‍රිකා මඟින් ලබා ගත් ඡායාරූප, සහ අති නවීන සයිබර් මෙවලම් පාවිච්චි කරලා, ඔවුන් මේ ගොඩනැගිල්ල, ඒ රැස්වීම පැවැත්වෙන වෙලාව, සහ ඒ වෙලාවේ හිටපු නායකයන් ගැන තහවුරු කරගත්තා.

මේ වගේ විශාල ප්‍රහාරයක්, ඇමරිකාවේ අනුමැතියක් නැතිව සිදු කළාද? ඒක නම් හිතන්නවත් බැරි දෙයක්. මොකද, කටාර් රාජ්‍යයේ Al-Udeid කියන ඇමරිකාවේ විශාලම හමුදා කඳවුර පිහිටා තියෙනවා. ඒක හරිම දියුණු ගුවන් ආරක්ෂක පද්ධති වලින් පිරිලා. ඒ නිසා ඊශ්‍රායලයට මේ මෙහෙයුම කරන්න, ඇමරිකාවෙන් අනුමැතිය ගන්න සිද්ධ වුණා. ඒ වගේම, ඇමරිකාව කටාර් රාජ්‍යයටත් මේ ගැන දැනුම් දීලා තියෙන්න ඇති.

ඇයි මේ ප්‍රහාරය නවත්තන්න බැරි වුණේ? කටාර්, හමාස්ව බිලි දුන්නාද?

මේක යුද උපාය මාර්ග, දේශපාලන කුමන්ත්‍රණ සහ ආර්ථික බලය එකට මිශ්‍ර වුණු සංකීර්ණ කතාවක්. කෙළින්ම ඔව් හෝ නැහැ කියලා උත්තර දෙන්න අමාරුයි. ඒත්, මේක පිටුපස තියෙන දේවල් අපි තේරුම් ගමු. කටාර් කියන්නේ පුංචි රටක්. ඒත්, ඔවුන් ලෝක දේශපාලනයේ ලොකු භූමිකාවක් රඟපානවා. ඔවුන්ගේ ප්‍රධාන උපාය මාර්ගය තමයි, එකම වෙලාවක විවිධ කණ්ඩායම් සමඟ හොඳ සම්බන්ධකම් තියාගන්න එක. 2012 ඉඳන්, හමාස් සංවිධානයේ දේශපාලන නායකයන්ට කටාර් රැකවරණය දුන්නා. ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වුණේ, පලස්තීන ප්‍රශ්නයේදී තමන්ට බලපෑමක් ඇති කරගන්න. ඒ වගේම, ඇමරිකාව වගේ රටවල් සමඟ සාකච්ඡා කරනකොට, හමාස්ව පාවිච්චි කරන්න.

ඒ වගේම, කටාර් රාජ්‍යය ඇමරිකාව සමඟත් ඉතා සමීප සබඳතා තියාගෙන ඉන්නවා. ඒක නිසා තමයි, ඇමරිකාවේ විශාලම හමුදා කඳවුරක් කටාර්වල පිහිටලා තියෙන්නේ. ඇමරිකාව වගේ රටවල් වලින් කටාර් රාජ්‍යයට පීඩනය එන්න ඇති, හමාස්ට සහයෝගය දෙන්න එපා කියලා. ඒ වගේම, ඉරානය වැනි රටවල් සමඟ තියෙන සබඳතා නිසා, කටාර් රාජ්‍යය නොසන්සුන් තත්ත්වයකට පත් වුණා.

“බිලි දීමක්” සිදුවුණාද? මේක තේරුම් ගන්න, අපි මේ තත්ත්වය ගැන විවිධ පැති වලින් බලමු.. කටාර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර, මේ ගැන රහසිගත ගනුදෙනුවක් වෙලා තියෙන්න පුළුවන්. ඔවුන්ව තියාගෙන ඉන්න එක කටාර් රාජ්‍යයට දැන් ලාභදායී නැති වෙන්න ඇති. ඒ වගේම, ඔවුන් තමන්ගේ රටට තර්ජනයක් වෙනවා කියලා කටාර් රාජ්‍යයට හිතුණා නම්? මේ හැම කරුණක්ම සලකා බැලුවාම, “කටාර්, හමාස්ව බිලි දුන්නා” කියන අදහස සත්‍ය වෙන්න පුළුවන්.

යුද ක්‍රමවේදවල අනාගතය

අද යුද ක්‍රමවේද අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණුයි. හිතන්න, ඔබ ඉන්නේ අඳුරු කාමරයක. ඔබේ ඇස් ඉස්සරහා තියෙන්නේ පරිගණක තිර දහයක් විතර. මේ තිරවල පෙන්වන්නේ ලෝකයේ විවිධ රටවල තියෙන වීදි, ගොඩනැගිලි සහ මිනිසුන්ගේ මුහුණු. ඔබ කරන්නේ, මේ හැමදෙයක්ම හොඳට නිරීක්ෂණය කරන එක. මේක හරියටම චිත්‍රපට කතාවක් වගේ. ඔබ කරන එකම වැඩේ, එක්තරා ගොඩනැගිල්ලක් වටේට ආරක්ෂාව වැඩි වෙලාද කියලා බලන එක. ඔබ දන්නවා, මේක හරිම වැදගත් ගොඩනැගිල්ලක් කියලා. ඔබ ඒක ඔබේ උසස් නිලධාරීන්ට දැනුම් දෙනවා. ඔබ මේ කරන්නේ, Human Intelligence, චන්ද්‍රිකා ඡායාරූප, සහ Cyber Tools පාවිච්චි කරන එක. මේ තොරතුරු හැම එකක්ම එකට එකතු කරලා, ඔබ මේ රහස විසඳනවා. මේක තමයි අද දවසේ ඔත්තු බැලීම. යුද්ධයකදී තුවක්කුවක් ගන්න කලින්, තොරතුරු ගන්න එක තමයි වැදගත්ම දේ. මේ කතාවෙන් අපිට පේන්නේ, අද යුද්ධ දිනන්නේ බෝම්බ දාලා නෙවෙයි, තොරතුරු එකතු කරලා කියලා.

ඔබ වාහනයක් පදවනවා කියලා හිතන්න. එකපාරටම ඔබේ වාහනයට ඉහළින් ගුවන් යානයක් යනවා. ඒත් ඔබ ඒක දන්නේ නැහැ. ඒ යානය ඔබට ඉහළින් යනකොට, ඒකෙන් පුංචි ලේසර් කිරණයක් එළියට එනවා. ඒක ඔබට පෙනෙන්නේ නැහැ. ඒත් ඒකෙන් ඔබේ වාහනය ඉලක්ක කරනවා. ඔබේ වාහනය ළඟින් යන අනිත් වාහනවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒත් ඔබේ වාහනය විතරක් විනාශ වෙනවා. මේක හිතන්නත් අමාරු දෙයක්. මේක තමයි අද දවසේ නිරවද්‍ය ප්‍රහාර (Precision Strikes). අතීතයේදී, බෝම්බ දානකොට අවට තියෙන හැමදේම විනාශ වුණා. ඒත් දැන්, අවි හදලා තියෙන්නේ, අවශ්‍ය දේ විතරක් විනාශ කරන්න.

ඔබ හමුදා නියමුවෙක් කියලා හිතන්න. ඔබ ගුවන් ගත වෙලා පැය ගණනක් ගුවන් සීමාවේ යනවා. ඔබේ ගුවන් යානයේ ඉන්ධන ඉවර වෙන්න ළඟයි. මේ වගේ වෙලාවකදී, ඔබ ආපහු කඳවුරට යන්න ඕනේ. ඒත් ඔබට අතරමගදී හමුවෙනවා, තවත් විශාල ගුවන් යානයක්. ඒකෙන් ඔබට අවශ්‍ය ඉන්ධන ලබාගන්න පුළුවන්. මේක තමයි Mid-air refueling. මේ තාක්ෂණය නිසා, ගුවන් යානා වලට දිගු දුරක් යන්න පුළුවන්. ඊශ්‍රායල ගුවන් හමුදාව, කටාර් රාජ්‍යයට ගියේ මේ වගේ ඉන්ධන පිරවුමක් අරගෙන.

අවසාන සත්‍යය..

මේ කතාවෙන් පෙන්වා දෙන්නේ, දේශපාලනයේදී සහ යුද්ධයේදී ස්ථිර මිතුරන් හෝ සතුරන් නොමැති බවයි. තමන්ට වාසිදායක වන තාක් කල් යම් පාර්ශවයක් සමඟ කටයුතු කර, එයින් පසු ඔවුන්ව ඉවත් කිරීමට පෙළඹෙන බව. කටාර් සහ හමාස් අතර සම්බන්ධතාවයද මෙවැනි සූක්ෂම ක්‍රීඩාවක් විය හැකි බවට විචාරකයෝ සැක පළ කරනවා. දේශපාලනය කියන්නේ, හිතන තරම් සරල දෙයක් නෙවෙයි. අනෙක දේශපාලනයේදී කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොඳ නෑ. ඉතින් ඊළඟට මොනවා වෙයිද? ඒක මෙහෙමයි කියල මට හරියටම කියන්න බෑ.. හැබැයි පහත කතාවෙ වගේ වෙන්නත් පුළුවන්.

පුරාණ රජ දවස, බලවත් රජෙකුට සතුරන් දෙදෙනෙක් සිටියා. මේ දෙදෙනා අතර සිටි එක් සතුරෙක්, රජු සමඟ සාකච්ඡා කර, රජුට තොරතුරු ලබාදීමට රහසිගත ගිවිසුමකට එළඹෙනවා. ඔහු සිතන්නේ, තමන් රජුට උදව් කිරීමෙන් රජු තමන්ව ආරක්ෂා කරාවි කියායි. නමුත් රජු සිතන්නේ වෙනත් දෙයක්. ඔහුට අවශ්‍ය වන්නේ සතුරු කඳවුරු දෙකම විනාශ කිරීමයි.

පළමු සතුරා දුන් තොරතුරු පාවිච්චි කර, රජු දෙවැනි සතුරාට පහර දෙනවා. මේ ප්‍රහාරයෙන් දෙවැනි සතුරාගේ බලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මේ අතර, පළමු සතුරා සතුටු වෙනවා, අනෙකා විනාශ වූ නිසා. නමුත් කාලයක් යද්දී, රජු පළමු සතුරාගේ දුර්වලතාවන් ගැන දැනගන්නවා. දැන් ඔහුට තේරෙනවා පළමු සතුරාද තමන්ට තර්ජනයක් වන බව. රජු, පළමු සතුරාටද පහර දී ඔහුව විනාශ කරනවා. පළමු සතුරා හිතුවේ, තමන් බේරෙන්න පුළුවන් කියලා, නමුත් ඔහුත් බිලි වුණා!

______________✍️ © සාගර දියගම



12 Viewers