• Home »
  • Sinhala »
  • ජිනීවාවල සටන් වදින සිංහයන්ට ශක්‌තියක්‌ වෙමු

ජිනීවාවල සටන් වදින සිංහයන්ට ශක්‌තියක්‌ වෙමු

ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය අවසන් වූවාට පසු ඊලාම් සටන යළි ඇරඹුණේ ජීනීවාවල මානව හිමිකම් කවුන්සිලය හරහා අලුත්ම මුහුණුවරකිනි. ද්‍රවිඩ ත්‍රස්‌තවාදයට පක්‌ෂව ජාත්‍යන්තරයේ මතය සකස්‌කරමින් සාවද්‍ය තොරතුරු ජත්‍යන්තර මාධ්‍ය සහ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හරහා ලොවට ප්‍රචාරය කරමින් ත්‍රස්‌තවාදීන් හට අවි ආයුධ ලබාගැනීමට අවශ්‍ය ඩොලර් කෝටි ගණනින් උපයමින් සිටි ඊනියා දෙමළ ඩයස්‌පෝරාව සතුව ද්‍රවිඩ ත්‍රස්‌තවාදීන් උතුරේ යුද්ධය පරාජයට පත් වූ පසු අතිවිශාල මුදල් සම්භාරයක්‌ ඉතිරි වූ අතර ඔවුන් ඇතැම් රටවල තවමත් ඊනියා ද්‍රවිඩ නිජභූමිය අත්පත් කරගැනීම සඳහා අරමුදල් රැස්‌ කරමින් සිටී. මෙම අතිවිශාල මුදල් සම්භාරය නොමසුරුව ආයෝජනය කරමින් ඔවුන් ඉහත සඳහන් කළ පරිදි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හරහා නැවතත් ඊලාම් සටන ආරම්භ කර ඇත.

කලක්‌ යනතුරු මෙය තේරුම් ගැනීමටවත් ලංකාවේ බොහෝ දෙනකුට නොහැකි විය. තර්ජනය වටහා ගත් දේශප්‍රේමීහු කිහිපදෙනකු මෙයට විසඳුම් සොයන්නට පටන් ගත්හ.

2016 දී ප්‍රථම වරට ලාංකිකයන් කිහිපදෙනෙක්‌ ජිනීවා 30/1 යෝජනාවට එරෙහිව අදහස්‌ දැක්‌වීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යන විට ඉඩ ලැබුණේ රැස්‌වීම් කිහිපයකට පිටස්‌තරයන් ලෙස සහභාගී වීමට පමණි. මන්ද ඒ තුළ හඬක්‌ නගනා ක්‍රමවේදය ගැන වැරෑදි අවබෝධයක්‌ එම ආරම්භක අවස්‌ථාවේ නොතිබුණු බැවිනි. නමුත් ඒ වන විට අන්තවාදී දෙමළ ඩයස්‌පෝරාව කාලයක්‌ තිස්‌සේ තම ආධිපත්‍යය ජිනීවාහි පතුරවා තිබුණි. ඒ නිසා මුලින්ම ජිනීවා ගිය දේශප්‍රේමින් විසින් කරනා ලද්දේ ඉතා නිර්භීත ක්‍රියාවකි.

නමුත් ක්‍රම ක්‍රමයෙන් තව තවත් දේශප්‍රේමි ලාංකිකයන් මේ උත්සාහයට එක්‌ වද්දී රාජ්‍ය නොවන සංවිධානයක්‌ මාර්ගයෙන් ප්‍රධාන සැසියේ හා සමාන්තර සැසිවල දේශන පවත්වන්නට අවස්‌ථාව උදා විය.

සංවිධාන ප්‍රමාණය වැඩි වීමත් සමග දේශන පැවැත්වීමේ අවස්‌ථාවන්ද වැඩි වේ. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලය තුළ ආධිපත්‍යය පතුරාගෙන සිටි ඊලාම් හිතවාදීන්ගේ බොරු වලට එරෙහිව යම් හඬක්‌ ජිනීවාහී නැගෙන්නට පටන් ගෙන තිබුණි.

දෙමළ ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ සභාවාරයකට සහභාගී වන්නේ සංවිධාන 20 ක්‌ පමණ නියෝජනය කරමිනි. ඒ නිසා ඔවුන්ට ලැබෙන අවස්‌ථා ප්‍රමාණය ඉතා අධිකය.

විශාල දෙමළ ඩයස්‌පෝරා සාමාජිකයන් පිරිසක්‌ සිටින සමාන්තර සැසියන්ට ගොස්‌ ජාත්‍යන්තරය හමුවේ ඔවුන් නගන බොරු තර්කවලට පිළිතුරු දීමට අපේ දේශප්‍රේමීන්ට ක්‍රම ක්‍රමයෙන් පුරුදුවීම ඊලාම් වාදීන්ට මහත් හිසරදයක්‌ වන්නට පටන් ගෙන තිබුණි.

මේ වන විට ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් සතුවද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පිළිගන්නා ලියාපදිංචි සංවිධාන 4 ක්‌ පමණ ඇත.

ඒවා හරහා මෙවර ජිනීවා සටන ක්‍රියාත්මක වන්නේ තල කිහිපයකය.

ඒ අනුව 2018 සැප්තැම්බර් සභාවාරයේ ශ්‍රී ලංකා දේශප්‍රේමීහූ වෙනදාට වඩා ඉදිරියෙන් සිටිති.

අපේ කණ්‌ඩායම් 4 ටම වෙන වෙනම සමාන්තර සැසි ඇමතීමට අවස්‌ථාව ලැබුණි.

මේ හැම කෙනෙක්‌ම රට වෙනුවෙන් සටන් කරන අයයි. ඒ වෙනුවෙන් වැය වන්නේ තමුන්ගේ ධනය හා කාලයයි. රජයේ අනුග්‍රාහකත්වය ඔවුන්ට නොලැබේ. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජිනීවාහි ඊලාම් සටනට පණපොවන ඊනියා දෙමළ ඩයස්‌පෝරාවේ පුද්ගලයන් හට රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වන පසුබිමක්‌ තුළ එක්‌ අතකට පවතින රජයෙන් ජිනීවාවල ඊලාම් වාදීන්හට එරෙහිව සටන්වදින මෙම දේශප්‍රේමීන් හට රජයේ අනුග්‍රහය ලැබේයෑයි සිතීමත් විහිලුවකිs.

කෙසේවෙතත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට රට වෙනුවෙන් පැමිණෙන සෑම කෙනකුම රට වෙනුවෙන් යම් පරිත්‍යාගයක්‌ කළ අයෙකි. ඔවුන් අතර ලොකු පොඩි වෙනසක්‌ නැත. ඇත්තේ එක අරමුණක්‌ පමණි. ඒ යහපාලනය විසින් අප පටලවා ඇති උගුලෙන් අපේ රට ගලවා ගැනීමයි. ඒ සඳහා තව බොහෝ දුරක්‌ යා යුතුව ඇත. එය නුවණින් කළ යුතු කටයුත්තකි. ජාත්‍යන්තර ක්‍රමවේදයන් වටහා ගනිමින් කළ යුත්තකි. මේ උත්සාහයට හැකි පමණින් උපකාර කිරීම සමස්‌ත ශ්‍රී ලාංකිකයන් ගේ පරම යුතුකමයි.

බන්ධුල ප්‍රියංකර සුබසිංහ



710 Viewers