ඩිජිටල් බෞද්ධ අවකාශය සහ ලෝක බෞද්ධ මාධ්‍ය කලාව විප්ලවීය වෙනසකට ලක් කළ ඩෙන්මාර්ක මෙත්තාවිහාරී හිමියෝ

අද ආදාහන පූජෝත්සවය අද
ථෙරවාදී බුදු දහම නවීන තාක්ෂණය ඔස්සේ ලොව පුරා ප්‍රචලිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඩෙන්මාර්කයේ උපත ලද පූජ්‍ය මෙත්තාවිහාරී ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා බෞද්ධ ප්‍රජාව ශෝකය පළ කර සිටිති. පිළිකා රෝගී තත්ත්වයක් සමග සටන් කළ උන්වහන්සේ පසුගිය දිනෙක ඩෙන්මාර්කයේදී සිහිනුවණින් අපවත් වී වදාළහ. ජේකබ් ජේකබ්සන් (Jacub Jacobson) නමින් උපත ලබා වසර 18කට වැඩි කාලයක් ඩෙන්මාර්කයේ සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ උන්වහන්සේ ක්‍රිස්තියානි භක්තිකයෙකු වුවද චතුරාර්ය සත්‍යයේ සදාතනික සත්‍යය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශාන්තිය කෙරෙහි යොමු වූහ. මෙම ආධ්‍යාත්මික පිබිදීම උන්වහන්සේව බුද්ධ ශාසනය වෙත යොමු කළ අතර අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ‘භික්ඛු මෙත්තාවිහාරී‘ නමින් උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වූහ .

1969 වසරේදී මුල් වරට ශ්‍රී ලංකාවට පැමිණි පූජ්‍ය මෙත්තාවිහාරී ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපය සහ එහි ජනතාව සමග ක්ෂණික සහ ගැඹුරු බැඳීමක් ඇති කර ගත්හ. නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් පෝෂණය වූ උන්වහන්සේ ශ්‍රී ලංකාව තම ස්ථිර වාසස්ථානය කර ගත්හ. 1988 වසරේදී උන්වහන්සේ භික්ෂූන් වහන්සේ නමක් ලෙසත්, උන්වහන්සේගේ බිරිඳ දස සිල් මාතාවක් ලෙසත් බුද්ධ ශාසනයට ඇතුළත් වී ශාසනය වෙනුවෙන් පූර්ණ වශයෙන් කැප වූහ. සියලු සත්වයන් කෙරෙහි උන්වහන්සේ දැක්වූ කරුණාව සහ අවංක ධර්ම ප්‍රතිපත්තිය අන්‍ය භික්ෂූන් වහන්සේලාටද ආදර්ශයකි. වරක් ස්නායු විද්‍යාව (Neuroscience) සහ බුදු දහම පිළිබඳ වැඩමුළුවකට උන්වහන්සේ සහභාගි වූයේ හුදෙක් මට දිරිගැන්වීමක් ලබාදීම පිණිසයි. එදින දානය භාරගෙන තිබූ දායක පිරිස ප්‍රමාද වූ විටද, විනය ගරුකව විකාල භෝජනයෙන් (දවල් දානයෙන් පසු ආහාර ගැනීමෙන්) වැළකී සිටි උන්වහන්සේ, වේලාව ඉක්ම යෑමට මත්තෙන් පාන් කැබැල්ලකින් පමණක් කුසගින්න නිවා ගත්හ. බොහෝ විට පා
ගමනින් පිණ්ඩපාතයේ වැඩම කළ උන්වහන්සේ, ලෞකික සැප සම්පත්වලින් තොර සරල, නිහතමානී දිවියක් ගත කළහ. ඕනෑම උතුම් කටයුත්තක් සඳහා උන්වහන්සේගේ චිත්‍රාගාරය සැමවිටම මා වෙනුවෙන් විවෘතව පැවති අතර, මිනිසුන්ට අර්ථවත් සහ යහපත් ජීවිත ගත කිරීමට උපකාරී වන ප්‍රයත්නයන් උන්වහන්සේ නිතර දිරිමත් කළහ. උන්වහන්සේ දැඩි විනයධර, අතිශය සිල්වත්, සරල, අවංක, මහා කරුණාවෙන් සහ මෛත්‍රියෙන් පිරි උතුම් යතිවරයන් වහන්සේ නමකි.
පැවිදිවීමට පෙර ඩෙන්මාර්කයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත වූ පූජ්‍ය මෙත්තාවිහාරී හිමියන් එම විශේෂඥ දැනුම බුදු දහම ඩිජිටල් යුගයට ගෙන යෑම සඳහා යොදා ගත්හ. metta.lk වෙබ් අඩවිය හරහා ලොව පැරණිතම බෞද්ධ දත්ත ගබඩාවක් නිර්මාණය කළ උන්වහන්සේ ත්‍රිපිටකය ඩිජිටල්කරණය කර භාෂා තුනකින් ලොවටම ලබා දුන්හ. එසේම පන්සල් සඳහා විද්‍යුත් තැපැල් (email) පහසුකම් ලබා දුන් අතර, සෑම පණිවිඩයක් සමගම ධම්මපදයේ ගාථාවක් එක් කරමින් ලොව පුරා නිහඬව ධර්මය ප්‍රචලිත කළහ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව වන ‘ධර්මවාහිනී’ නාලිකාව ආරම්භ කළේ උන්වහන්සේය. එය සීමිත සම්පත් සහිත ව ස්වෙච්ඡා කණ්ඩායමක් මගින් පවත්වාගෙන යනු ලැබිණි. හුදු විකාශන ආයතනයකට වඩා ධර්මවාහිනිය යනු ශ්‍රී ලාංකීය සමාජයේ පිරිහී ගිය වටිනාකම් නැවත ගොඩනැගීමට උන්වහන්සේ දැරූ වෑයමකි. අදටත් එය බෞද්ධ මාධ්‍ය කලාවට දැක්වූ සුවිශේෂී දායකත්වයක් ලෙස පවතී.
2004 සුනාමි ව්‍යසනයෙන් පසු ග්‍රාමීය දරුවන් මුහුණ දුන් අධ්‍යාපන අභියෝග සියැසින් දුටු උන්වහන්සේ, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පැය 24 පුරා ක්‍රියාත්මක ‘Learn T’‘ අධ්‍යාපනික නාලිකාව ආරම්භ කළහ. එමගින් අමතර පන්ති හෝ ගුරුවරුන් නොමැති දහස් ගණනක් සිසුන්ට නිවසේ සිටම විෂය නිර්දේශයට අදාළ පාඩම් අඛණ්ඩව ඉගෙන ගැනීමට අවස්ථාව උදා විය.
සිංහල භාෂාව මැනවින් හැසිර වූ, ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ ජීවත් වූ උන්වහන්සේ, තමන් “ශ්‍රී ලාංකිකයෙකු” ලෙස හඳුන්වා ගත්හ. වරක් මිතුරන් සමග කතා බහකදී උන්වහන්සේ විහිළුවට මෙන් පැවසුවේ, තමන් දැන් ශ්‍රී ලාංකිකයෙකු වී ඇති බැවින් ඩෙන්මාර්ක භාෂාව කතා කිරීම පවා අපහසු වී ඇති බවයි.
අපවත් වන විට 80 වැනි වියේ පසු වූ පූජ්‍ය මෙත්තාවිහාරී හිමිපායෝ අසීමිත දයාව සහ නිහතමානී බව පෙරදැරිව අධ්‍යාපනය, මාධ්‍ය, තාක්ෂණය සහ ධර්මය හරහා අසංඛ්‍යාත ජීවිත නගා සිට වූහ.
උන්වහන්සේ ආරම්භයේ සිටම ‘ලයිට් ඔෆ් ඒෂියා’ (Light of Asia) පදනමේ ආධාරකරුවෙක් වූහ. සිද්ධාර්ථ චිත්‍රපටය නිර්මාණය කිරීම, ශාක්‍ය ජනපදය පිහිටුවීම, ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සහ මාස කිහිපයකට පෙර ආරම්භ කළ, ළඟදීම එළිදැක්වීමට නියමිත සූත්‍ර පිටකය ඇසුරෙන් නිර්මාණය වන කෙටි වීඩියෝ මාලාව වැනි කටයුතු සඳහා උන්වහන්සේ සහයෝගය සහ මග පෙන්වීම ලබා දුන්හ. උන්වහන්සේගේ ජීවිතය නවෝත්පාදනය, කැපවීම සහ
ගැඹුරු ආධ්‍යාත්මික විශ්වාසය පිළිබඳ දුර්ලභ උදාහරණයකි. ඩෙන්මාර්කයේ පිහිටි සිය නිවසේදී සිහිනුවණින් යුතුව පූජ්‍ය මෙත්තාවිහාරී හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේගේ වියෝව ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලොවටම විශාල පාඩුවකි. මෙත්තාවිහාරී උතුම් යතිවරයන් වහන්සේට අමා මහා නිවන් සුව අත් වේවා!
ලලිත් ද සිල්වා
හිටපු සභාපති –
විද්‍යාලංකාර මහා පිරිවෙන
භාරකරු – ලයිට් ඔෆ් ඒෂියා පදනම
11 Viewers





