• Home »
  • Sinhala »
  • “..ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වී මියගිය හා අතුරුදහන්වූවන්ගේ පවුල් වලට වන්දි ගෙවීමට හැකි පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය…..”

“..ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වී මියගිය හා අතුරුදහන්වූවන්ගේ පවුල් වලට වන්දි ගෙවීමට හැකි පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය…..”

image1
මගේ සිත මේ ඡායාරූපය සමග වසර තිස් දෙකක් ඈත අතීතයට දිව ගියේය.
ඒ 1987 වසරයි මම එවකට අම්පාර ජනපදයක ( මඩකලපුව දිස්ත්‍රික්ක මායිමේ) ගුරුවරයකු වශයෙන් සේවය කළෙමි.මා සේවය කළ පාසලට යාබද ජනපදය නිතර කොටි ත්‍රස්තයන්ගේ ප්‍රහාරවලට ලක්වන නිසා එහි වූ පාසල ඒ වන විට වසා දමා තිබිණි.

එම නිසා එම ජනපදයේ සමහර දරු දැරියන්ද සිප්සතර හැදෑරීමට ඇති ආශාව නිසා සැතපුම් කිහිපයක් පාගමනින්ම මඟ ගෙවමින් අපේ පාසල වෙත පැමිණියහ.
දිනක් උදෑසන අපට දැනගන්නට ලැබුණේ යාබද ජනපදයට පෙරදා රාත්‍රියේ කෲර කොටින්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

තරමක් බියෙන් සැකෙන් පාසල වෙත ගිය විට දැනගන්නට ලැබුනේ අපේ පාසලට එන දැරියක ගේ ගෙදරට ද එම ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

ඒ අහිංසක දැරිය ගේ මුහුණ මතක් වන විට ඒ ගැන සොයා නොබලා සිටීමට මට කිසිසේත් නොහැකි විය නමුත් කිසිවෙකුත් ජීවිත පරදුවට තබමින් ඒ මොහොතේ අදාල කොළණි ජනපදය වෙත යාමට ආවේ නැත.

අවසානයේ මගේ දැඩි ඉල්ලීම හා පෙරැත්ත නිසා ආචාර්ය මණ්ඩලයේ සේවය කළ ඒ ප්‍රදේශයේම මගේ හිතවත් ගුරුවරයෙක් මා හා එක් විය.

අප පා පැදි දෙකකින් නියරවල් සහ වෙල්යායවල් මැදින් වැටී ඇති කෙටි මාර්ග ඔස්සේ යාබද කොලනිය වෙත ගමන් කළෙමු.

ඒ වන විට ගම්මුන් ගම හැර යමින් පැවතිණි සමහර නිවාස ඉදිරිපිට මරා දමා ඇති අහිංසක මිනිසුන්ය.
ඒ වනවිට පොලීසිය හෝ හමුදාව එහි දකින්නට ලැබුණේ නැත.

මෙතරම් දුරක් ඒ අහිංසක දැරිය පාගමනින් අපේ පාසල වෙත පැමිණීම ද මා විමතියට ලක් කළේය.
අවසානයේ අප ඊ දැරියගේ නිවස අසලට පැමිණියෙමු.

වත්තට ඇතුළුවන තැන ඇති උණබම්බු දැමූ කඩුල්ල ළඟ ඒ දැරියගේ පියා වැටී සිටියේය.කඩේට ගොස් ලාම්පුතෙල් බෝතලයක් රැගෙන එමින් සිටි ඔහු ලණුවකින් එල්ලාගෙන සිටි ලාම්පුතෙල් බෝතලයක් සමග ගෙළට වැදුණු කඩු පහරකින් මැරී වැටී සිටියේය.

අප කඩුල්ල පැන වත්තට ඇතුළු වුණෙමු දකුනු පැත්තේ ඇති කෙහෙල් පඳුර මැද වාඩිවී සැඟවී සිටි දියණියගේ බාල සොහොයුරා හිසට වැදුණු කඩු පහරකින් වාඩිවී සිටි ඉරියව්වෙන්ම අවසන් ගමන් ගොස් තිබිණි.

අප ඒ දර්ශනය දැක කඳුළු පිරි දෙනෙතින් නිවසට ඇතුල් වූවෙමු. ඉලුක් සොයා මැටි වරිච්චි බිත්ති වලින් යුත් කුඩා ගිය තුළ වූ පුංචි කුස්සියේ රෑට කෑම සඳහා බඩඉරිඟු තම්බමින් සිටි මව ලිප ළඟ කපා මරා දමා තිබිණි.

මගෙන් සිප්සතර හැදෑරූ ඒ අහිංසක දියණිය මා විසින් කරගෙන ඒමට දුන් අභ්‍යාස කුප්පි ලාම්පු එළියෙන් ගොම මැටි පොළොවේ කරමින් සිටියදී ගෙලට වැදුණු කඩු පහරකින් මෙලොව හැරදා ගොස් සිටියාය.
ඒ දර්ශනය මා මියෙන තුරා මගේ සිතින් මැකී යන්නේ නැත.එමෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කෙරෙහි ද ඔවුන්ට අනුකම්පාව සහ සුදු හුණු ගාන එවුන් කෙරෙහිද මගේ ඇති කලකිරීම සහ කෝපය මා මියන තුරා මගේ සිතින් ඉවත් වන්නේ ද නැත.

ඉහත ඡායාරූපය ඊට මාස කීපයකට පසුව මා අම්පාර සමුගන්නා දා ඒ දැරියගේ සම වයසේ සිටි ඒ පංතිවල දරුවන් මගෙන් සමු ගන්නා මොහොතයි.

මෙවැනි ම්ලේච්ඡ ඝාතන කළ මිනීමරුවන් මිය ගොස් අතුරුදහන් වී ඇති විටෙක ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවීමට තරම් අප නිවට සහ දීන වූයේ කෙසේද?

ජනතාවගේ බදු මුදලින් වන්දි ගෙවන්නේ ඒ ජනතාවගේ ඝාතකයන්ගේ සමීපතමයන්ට ද…?



701 Viewers