• Home »
  • News »
  • ත්‍රිකුණාමලය බුදු පිළිමය

ත්‍රිකුණාමලය බුදු පිළිමය

ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි මහා සංඝ සභාවේ මහා නායක, සාහිත්‍යසූරි ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ බැහැදැකීම සඳහා ත්‍රිකුණාමලය බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණතිස්සවංශ හිමියන්, සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ ත්‍රිකුණාමලය දහම් පාසල් ගුරු සංගමයේ ලේකම් විදුරංග ලොකුගලප්පත්ති ඇතුළු පිරිසක් ඊයේ දිනයේදී සහභාගී වූහ.

එම පිරිස ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියට අදාළව දින විසි නවයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස් වීමෙන් අනතුරුව මෙම බැහැදැකීම සිදු වූ අතර, ඒ  හමුවේදී අදහස් දැක්වූ මහා නාහිමිපාණන් වහන්සේ අවධාරණය කළේ ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය පාදක කරගනිමින් භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගොනු කරන ලද චෝදනා මහා ශාසනික අපරාධයක් බවයි. බෝධිරාජාරාම විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම මුල් කරගනිමින් කිසිසේත් සිදු විය නොහැකි ආකාරයේ චෝදනා ඉදිරිපත් කරමින් රජයේ මැදිහත්වීම මත සිදු කළ මෙම ක්‍රියාව සිතා මතා ශාසනයට එරෙහිව කරන ලද මහා අපරාධයක් බව උන්වහන්සේගේ විශ්වාසයැයිද එහිදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මහා නාහිමිපාණන් වහන්සේ විසින් මීට පෙර ජනාධිපතිවරයා වෙත ද විශේෂ ලිපියක්ද යොමු කර තිබූ අතර, එම මැදිහත්වීම පිළිබඳව කෘතවේදීත්වය පළ කිරීම මෙම බැහැදැකීමේ ප්‍රධාන අරමුණ විය.

අදාළ ලිපිය මගින් මහා නාහිමියන් පෙන්වා දී තිබුණේ බෝධිරාජාරාම විහාරයේ බුදු පිළිමය තැන්පත් කිරීමට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ මන්ත්‍රීවරයෙකු සහ වත්මන් රජයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් විසින් විරෝධයක් ගොඩනැගුවා මිස වෙනත් කිසිදු ජාතිකයෙකු හෝ ආගමිකයෙකු ඒ සඳහා විරෝධයක් ප්‍රකාශ කර නොමැති බවයි. පොලීසිය අත්තනෝමතිකව සහ කිසියම් දේශපාලනික උපදෙස් මත ක්‍රියා කිරීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වූ බව උන්වහන්සේගේ ස්ථාවරය වන අතර, භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනෙකු සිරගත කිරීම පිළිබඳව උන්වහන්සේ දැඩි කණගාටුව පළ කර සිටියහ.

තවද සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ පැරණි ධර්ම ශාලාවේ පාදම මත ඉතා කුඩා බුදු පිළිමයක් තැන්පත් කිරීමෙන් එම ස්ථානයට කිසිදු හානියක් සිදු නොවන බවත්, පැරණි ගොඩනැගිල්ලක් වෙනුවට එතැනම යළි ඉදිකිරීමක් කිරීම අලුත් ඉදිකිරීමක් ලෙස හුවා දැක්වීම අමනෝඥ ක්‍රියාවක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ. පෙර රජවරුන් විසින් සසුනට පූජා කරන ලද එම පින්බිම තුළ බුදු පිළිමයක් තැබීමට ගොස් භික්ෂූන් වහන්සේලාට පහරකෑමට ලක්වීමට සිදු වූයේ කිසිදු අපරාධයක් සිදු කිරීම නිසා නොවන බවත්, ජනමාධ්‍ය හා සිය සංඝ සභාවේ නියෝජිත පිරිසක් එම ස්ථානයට යවා ලබාගත් තොරතුරු මත තමන් වහන්සේ මෙම ලිපිය සකස් කළ බවත් එහි සඳහන් විය.

මේ අනුව රජය මැදිහත් වී අදාළ පිරිස වහාම නිදහස් කරන ලෙස මහා නාහිමියන් ජනාධිපතිවරයාගෙන් කර තිබූ එම ලිඛිත ඉල්ලීම මෙම සිදුවීමේදී තීරණාත්මක සාධකයක් වූ බව සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක වැඩිදුරටත් උන්වහන්සේට සැළ කර සිටියේය.



10 Viewers