දෙමළ ජාතිවාදීන්

මම පුරුද්දක් විදියට, ඉඩක් ලැබෙන හැමවෙලාවකම වනැස යූටියුබ් නාළිකාවේ රණවිරුවන්ගේ කතා බලනවා. ඒ කතා ඇහුවම පුදුම හිතෙනවා. ඒ වගේම ඒ කතා ඇතුලේ රණවිරුවා, ‘රස්සාවක් කළ මිනිහෙක්’ කියන මිත්‍යාව බිඳ දැමෙනවා. එක රණවිරුවෙකුගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහුට හමුදාවට යෑමට අවශ්‍ය වූ විට ඔහුගේ පියා ඊට දැඩිව විරුද්ධ වෙනවා. ඔහුට තරුණ වයසේදීම ඉතා විශාල ලාභයක් හිමිවෙන ව්‍යාපාරයක් පවරා දෙනවා. ඔහු ඒ මුදල්, ව්‍යාපාර පැත්තකට දමලා නිවසටත් රහසේ හමුදාවට යනවා. තව රණවිරුවෙකුට ගෙදරින් ජර්මන් යන්න වීසා අරන් දෙනවා. ඔහු දෙමාපියන්ට හොර රහසේ හමුදාවට බැඳෙනවා.

අද ඒ එක් රණවිරුවෙකුගේ ඉණෙන් පහල අප්‍රාණිකයි. නමුත් ඔහුගේ කතාව තුළ කිසිම විටෙක ඔහු තමන්ගේ තීරණය ගැන පසුතැවෙන්නේ නැහැ. ඔහු සතුටින් කියන්නේ ‘මම රට වෙනුවෙන් මගේ කොටස කළා’ කියලා. අභිමන්සල ආබාධිත රණවිරු නිවස්නයේ ජීවත් වන එක් ආබාධිත රණවිරුවෙකු සිටිනවා. ඔහුට සිහිය තියෙනවා. නමුත් ඔහුට ශරීරයේ කිසිඳු චලනයක් කළ නොහැකියි. ඔහුට දිවා රෑ වෙනසක් නැහැ. ඔහුට කවන්නේ, පොවන්නේ, ඔහුව රැකබලා ගන්නේ සහෝදර හමුදා නිළධාරීන්.

ඔහුගේ ජීවිතයේ දවසක් බොහෝ දිග ඇති. ජීවිතයේ දෙවැනි දශකයේ මැද භාගයේ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ ඒ රණවිරුවාගේ ජීවිතය අද හිස්. ඔහුට විවාහයක්, පවුල් ජීවිතයක්, දරු සුරතල් තබා අවම රසවින්දනයක් හෝ විඳීමේ හැකියාවක් නැහැ. ඔහු මියයනතුරුම ඔහුට ඇඳක්, ඒකාකාරී ද්‍රව ආහාරයක් සහ සරමක් කමිසයකට එහා ගිය ජීවිතයක් නැහැ. ඒ කැපකිරීම් බොහෝම සංවේදියි.

තවත් එවැනි මේජර්වරයෙක් වැඩසටහනක අපූරු කතාවක් කිව්වා. ඔහු ප්‍රකාශ කළේ ‘Not everyone has the honour of dying for motherland’ කියලා. එහි සිංහල අර්ථය ‘ රට වෙනුවෙන් මිය යාමේ ගෞරවය හැමෝටම ලැබෙන්නේ නැහැ’ කියලා. ඒ තමයි රණවිරුවාගේ මානසිකත්වය. රට වෙනුවෙන් මිය යාම ඔවුන් ගෞරවයක් ලෙස සැලකුවා. අප වෙනුවෙන් සටන් කළ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සැබෑ ලෙසටම සටන් කළේ රට සහ ඔවුන් විශ්වාස කළ වටිනාකම් වෙනුවෙන් මිසෙක මුදල් වෙනුවෙන් නොවෙයි. ඔවුන් රැකියාවක් කළ ‘සොල්දාදුවන්ට’ එහා ගිය භූමිකාවක් කළ වීරයන්. තොප්පිගල පාමුල ගහක් යට, මුහමාලේ මඩ පිරුණු කානුවක, ඔඩ්ඩුසුඩාන් පාර දෙපැත්තේ, නන්දිකඩාල් කලපුවේ කඩෝලාන අතරේ හෝ වෙනත් කොහේ හෝ තැනක ඔවුන් මිය ගියේ අපි වෙනුවෙන්.

මේ සියල්ල මතකයට ආවේ ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ පළවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ප්‍රකාශ කළ සහ තවත් දමිල මාධ්‍ය රැසක පළවූ පුවතක් දැකලා. යාපනයේ නල්ලූර් කෝවිල අසල LTTE ත්‍රස්ත සංවිධානයේ නායකයෙකු සහ (ඔවුන්ගේ) ලුතිනන් කර්නල්වරයෙකු වූ දීලිපන් (තීලිපන් ලෙස උච්ඡාරණය වැරදියි) ගේ පිළිරුවක් නිර්මාණය කරලා. තවමත් බෙදුම්වාදී, ජාතිවාදී දේශපාලනය කරන කිහිපදෙනෙක් ඒ පිලිරුවට මල් මාලා පලඳවනවා. ඒ අතර මාලිමාවේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති ද හිටියා. ලැජ්ජයි! කණගාටුයි!

මේ අප රටේ ත්‍රස්ත නායකයෙකුගේ පිළිරුවකට මල් මාලා පලඳවන්නේ, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් ලබා දී ඇති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ජනාධිපති අනුර සිංහලෙන් ජාතිවාදය යළි හිස එසවීමට ඉඩක් නැතැයි කීවත්, ඔහුගේ ඔඩොක්කුවේ සිටිනා මන්ත්‍රීවරයෙකු ගිහින් රටේ තහනම් සංවිධානයක, රටේ බෝම්බ පුපුරවපු, රටේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කරපු, රටේ පාසල් දරුවන් ඝාතනය කළ සංවිධානයක ලුතිනන් කර්නල්වරයෙකුගේ පිළිරුවට මල් මාලා පලඳවනවා. LTTE සංවිධානය විසින් සිදු කළ මහා අපරාධ අමතක කළත්, එය තවමත් මෙරට තහනම් සංවිධානයක්. ත්‍රස්ත සංවිධානයක්.

ත්‍රස්ත සංවිධානයක නායකයෙක් සැමරීම නීතිවිරෝධි වැඩක්. එයට පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහභාගී වීම කොතරම් අප්‍රසන්න ක්‍රියාවක් ද ? එමෙන්ම දිලීපන් වැනි ත්‍රස්ත නායකයෙක් , යළිත් අහිංසක දෙමල ජනතාවගේ හිතේ වීරයෙකු කරමින්, සුවවෙමින් පවතින තුවාල පැරීම කොතරම් ජාතිවාදී ද ? දැන් දෙමල දරුවන්ට පිළිම නෙලා, පෙන්විය යුත්තේ දිලීපන් වැනි ගෝත්‍රික, ම්ලේච්ඡයන් නොවෙයි.

ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායි වැනි ලෝකය දිනූ දමිල ජාතිකයන්. චෙස් ලෝකයේම ඉදිරියෙන් සිටිනා රමේෂ්බාබූ ප්‍රඥානන්ද වැනි දමිල චරිත. රවී අශ්චින් ලා, සංජු සැම්සන් ලා, විජේකාන්ත් වියස්කාන්ත් ලා. ශ්‍රී ලංකාවේ, යාපනයේ දරුවන් අතර තව දුරටත් ත්‍රස්ත නායකයන් වීරත්වයට නැගීම කොතරම් ජාතිවාදී දැයි අමුතුවෙන් කිවයුතු නැහැ. එමෙන්ම එය අනාගතයේදී ඇති විය හැකි වාර්ගික බෙදුම් වලට කාල බෝම්බ ඇටවීමක්. දකුණේ පුරවැසියන්ට ව්‍යාජ චෝදනා එල්ල කරනා අනුර, මේ උතුරේ ජාතිවාදය ඉදිරියේ නිහඬයි.

ඡන්ද උදෙසා අනුර උතුරේ ජාතිවාදයට අනියමින් ආශිර්වාද කරනවා. මේ LTTE ත්‍රස්තවාදීන්ගේ මහවිරු සැමරුම් සතිය. මෙවැනි සිදුවීම් සහ මහවිරු නාමයෙන් ම්ලේච්ඡ කොටි සැමරේ නම් එය දෙආකාරයකින් රටට හානියක්. පළමුවැන්න සුන්දර් පිචායි ලා, රමේෂ්බාබු ප්‍රඥානන්ද ලා ආදර්ශයට ගත යුතු දමිල දරුවන්, 2025 දීත් වීරයන් සේ සලකන්නේ කොටි ත්‍රස්තයන් නම් මේ රටේ ජාතිවාදී ගිනි දළු කිසිඳිනෙක නිවී නොයාවි. ජාතිවාදය පැරදීමට අවශ්‍ය නම්, මේ තුවාල සුව වීමට අවශ්‍ය නම් මහවිරු සැමරුම් සහ කොටි සැමරුම් උතුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. යුද්ධයෙන් මිය ගිය තමන්ගේ ‘දරුවන්’ සැමරීමට අවශ්‍ය නම්, එය ප්‍රභාකරන් ත්‍රස්තයාගේ උපන් දිනය දා කළ යුතු නැහැ. එමෙන්ම එය සංවිධානාත්මකව කළ යුතු දෙයක් නොවන බව පැහැදිලියි. එවැනි සැමරීම් සිදුවිය යුත්තේ සිය පුද්ගලික අවකාශයේ පමණයි. යුද්ධයෙන් මිය ගිය දරුවන් සමරනවා යයි ආණ්ඩුව දකුණට පෙන්වන්නේ හුදෙක් ත්‍රස්ත සැමරුම්. දෙවැන්න, තවමත් මෙවැනි ත්‍රස්තයන් සැමරෙනවා නම්, එය අභිමන්සලට වී සිටිනා ඉහත කී ආබාධිත රණවිරුවන්ට කරනා විශාලතම නිග්‍රහයක්. ඔවුන් ජීවිතයේ තරුණ කාලයම අප වෙනුවෙන් කැප කළා.

අදටත් අත්, පා, ඇස් නොමැතිව ඔවුන් ඒ මිලෙහි වන්දිය ගෙවනවා. ඔවුන්ට ඒ ඉරණම එක්කළ, අපගේ දරුවන් ඝාතනය කළ ත්‍රස්තයන් තවමත් සැමරෙනවා නම් අප කොතරම් දීන ජාතියක් ද ? අභිමන්සලට වී එම පුවත් දකිනා ඔවුන්ට කුමන හැඟීමක් ඇතිවෙනවා ඇත්ද ? රට වෙනුවෙන් මිය ගිය රණවිරුවන්ගේ දරුවන්ට, බිරින්ඳෑවරුන්ට, සහෝදරයන්ට, මව්වරුන්ට කුමන වේදනාවක් දැනෙනවා ඇත්ද ? ඇමෙරිකාවේ කිසිම ආකාරයක බින් ලාඩන් සැමරීමට ඉඩක් නැහැ. බින් ලාඩන් තබා සිවිල් යුද්ධයේ දකුණු පාර්ශවය නියෝජනය කළ පුද්ගලයන් පවා සැමරීමට ඉඩක් නැහැ.

ඔවුන් තවමත් රට වෙනුවෙන් සටන් කළ, දිවිපිදු සහ ආබාධිත රණවිරුවන්ට උපහාර දැක්වීමට ජාතික දිනයක් නම් කර තිබෙනවා. ලෝකය තමන් වෙනුවෙන් කැපකිරීම් කළ රණවිරුවන්ට සලකන්නේ එහෙමයි. එම නිසා දිලීපන් ත්‍රස්තයා සැමරීම මෙන්ම ශ්‍රී ලංකාවේ බිහි වූ කෘරතම මිනිසා වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය වන එලඹෙන නොවෙම්බර් 26 දා සිදු කෙරෙන මහවිරු සැමරුම් වලට ඉඩ නොතැබීම රජයේ ප්‍රධාන වගකීමක්.

සචීන් රත්වත්තේ



10 Viewers