පරිසරවේදීන්ගෙන් දැඩි නිරෝධතාවය නොතකමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විල්පත්තුව හරහා මාර්ගයක් ඉල්ලා කතෝලික පූජකවරුන් විරෝධතාවක

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පවා භාවිතය තහනම් කර ඇති විල්පත්තු ජාතික උද්‍යානය හරහා වැටී ඇති මාර්ගයක්, කතෝලික දේවස්ථානයක ආගමික උත්සවයක් වෙනුවෙන් විවෘත කරන ලෙස ඉල්ලමින් කතෝලික පූජකවරුන් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වීමත් සමග දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
FC/SC/224/2010 අංක දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් මොල්ලිකුලම දෙසින් ඇති මෙම මාර්ගය භාවිත කිරීම පැහැදිලිවම තහනම් කර ඇති පසුබිමක, පල්ලෙකන්ඩල් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීම සඳහා ඉන් ප්‍රවේශය ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම පිරිස මොල්ලිකුලම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය අසල මෙලෙස උද්ඝෝෂණයක නිරත වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කතෝලික පල්ලියට වලංගු නැද්ද යන්නත්, කතෝලික පූජකවරුන්ගේ විරෝධය රටේ පවතින පරිසර පනතට වඩා බලවත්ද යන්නත් මෙහිදී පරිසරවේදීන්ගේ සහ රටේ මහජනතාවගේ බරපතළ ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ අදාළ මාර්ගය මේ වන විට ස්වභාවිකවම යළි වනාන්තරයට එකතු වෙමින් පවතින සංවේදී තීරුවක් වන අතර, මෑතකදී බලපෑ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් එහි ඇති පාලම් සහ බෝක්කු ද දැඩි ලෙස අබලන් වී භාවිතයට ගත නොහැකි මට්ටමක පවතින බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ අදාළ පිරිස්වල ඉල්ලීම්වලට ඉඩ දෙමින් මෙම මාර්ගය නැවත පිළිසකර කිරීමට කටයුතු කිරීම නීති විරෝධී වනාන්තර විනාශයකට සෘජුවම මඟ පාදන්නකි.
එසේම, මෙම වාර්ෂික මංගල්‍යය සංවිධානය කිරීම සම්බන්ධයෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා, පූජ්‍ය පක්ෂය ඇතුළු අදාළ පාර්ශවයන් පසුගිය ජුනි මස 17 වනදා පැවැත්වූ සාකච්ඡාවේදී ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මාර්ගය විවෘත කිරීමට සිය දැඩි විරෝධය පළ කර තිබූ බව පරිසරවේදීන් අනාවරණය කරයි.
රටේ ඉහළම අධිකරණ නියෝග සහ පවතින පාරිසරික නීතිරීති මෙලෙස පසෙකලා සිදු කරන ඊනියා උද්ඝෝෂණ සහ පුහු තර්ක හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිසේත්ම තමන්ගේ නිල ස්ථාවරය හකුලා නොගත යුතු බවට පරිසරවේදීන් අවධාරණය කර සිටී.
එමෙන්ම, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ඡන්ද කෑදරකම වෙනුවෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දේශපාලන අධිකාරිය මේ සඳහා කිසිදු ආකාරයක දේශපාලන අතපෙවීමක් සිදු නොකරනු ඇතැයි තමන් දැඩිව අපේක්ෂා කරන බවද පරිසර සංවිධාන වැඩිදුරටත් ප්‍රකාශ කරති.
2 Viewers





