බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
ඇමරිකා එක්සත් ජනපදය දීර්ඝ කාලයක් තිස්සේ තමන් “ජාත්‍යන්තර මානව හිමිකම් රැකීමේ පොලිස්කාරයා” ලෙස පෙනී සිටියද, තමන්ගේ හෝ තමන්ගේ සමීපතම මිත්‍ර පාර්ශවයන්ගේ (උදා: ඊශ්‍රායලය) හමුදා නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට ජාත්‍යන්තර අධිකරණ මගින් චෝදනා එල්ල වන විට සාමාන්‍ය පොලිස්කාරයෙක්ගේ ගති ප්‍රදර්ශණය කරමින් ඊට දැඩි ලෙස එරෙහි වේ.
ඇමරිකාව හෝ ඊශ්‍රායලය ICC හි සාමාජිකයන් නොවන බැවින්, එම අධිකරණයට තම පුරවැසියන් පරීක්ෂා කිරීමට බලයක් නැති බව ඔවුන් තර්ක කරයි. නමුත් වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවලට හෝ ඇමරිකාවේ ප්රතිපක්ෂ රාජ්‍යයන්ට එරෙහිව ජාත්‍යන්තර චෝදනා නැගීමේදී ඇමරිකාව මෙම ආයතනවල තීරණ ආයුධයක් ලෙස භාවිතා කරයි. කන්න අවශ්‍යවිට කබරයා තලගොයා කිරීමේ පිකාසෝවන් පරදයි.
තමන්ට අභියෝග වන අවස්ථාවලදී ජාත්‍යන්තර නීති පද්ධතියට ගරු කරනවා වෙනුවට ICC නීතිවේදීන්ට සහ නිලධාරීන්ට සම්බාධක පැනවීම මගින් පැහැදිලි වන්නේ, ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වන්නේ මානව හිමිකම් මත නොව ස්වකීය භූ-දේශපාලනික අවශ්‍යතා (Geopolitical Interests) මත බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය (UNHRC) ලෙස නවනීදන් පිල්ලේ කටයුතු කළ කාලසීමාවේදී ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචන පැවතුනි.
ශ්‍රී ලංකාවේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් යුද සමයේදී සිදුවූවා යැයි කියනු ලබන යුද අපරාධ පිළිබඳව සෙවීමේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නවනීදන් පිල්ලේ මහත්මිය ඒකපාර්ශ්වික හා ස්වාධීන නොවන වාර්තා (උදා: ඩාර්ස්මන් වාර්තාව) පදනම් කරගනිමින් කටයුතු කළ බවට බරපතල චෝදනා එල්ල විය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිවිල් වැසියන් මානව පළිහක් (Human Shields) ලෙස භාවිතා කිරීම, ළමා සොල්දාදුවන් යෙදවීම සහ ත්රස්තවාදීන්ගේ පැත්තෙන් සිදුවූ අනෙකුත් මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලබාදුන් අවධානයට වඩා, රාජ්‍ය හමුදාවන් ඉලක්ක කර ගනිමින් අභූත චෝදනා එල්ල කිරීමට ඇයගේ මෙහෙයවීම යටතේ කටයුතු සිදු වූ බව ශ්‍රී ලංකාව දිගින් දිගටම පෙන්වා දුන්නේය.
බටහිර රාජ්‍යයන්ගේ දේශපාලනික අවශ්‍යතාවලට අනුකූලව කුඩා සහ ස්වෛරී රාජ්‍යයන් මත පීඩනය යෙදීමට UNHRC යාන්ත්‍රණය භාවිතා කළ බවට නැගුණු විවේචන මගින් ඇයගේ මධ්‍යස්ථභාවය ප්‍රශ්න කරනු ලැබීය.
නොබෙල් සාම ත්‍යාගය යනු බොහෝ විට ජාත්‍යන්තර දේශපාලන නැඹුරුවාවන් සහ බටහිර මතවාදයන් නිරූපණය කරන සම්මානයක් ලෙස විවේචනයට ලක්වේ.
ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි බව කියමින් නවනීදන් පිල්ලේ මහත්මියට මෙම සම්මානය පිරිනැමුවද, ඇයගේ සේවය පුරාවටම සමහර කලාපීය රාජ්‍යයන්ට සහ යුද ගැටුම්වලට අදාළව ඇය අනුගමනය කළ පක්ෂපාතී හෝ අසමබර ප්‍රතිපත්තිය හේතුවෙන් ඇය සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගයට කෙතරම් සුදුසුද යන්න විවාදසම්පන්න වේ.
සංක්ෂිප්තව දක්වන්නේ නම්, ICC යට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීම මගින් ඇමරිකාවේ මානව හිමිකම් පිළිබඳ ස්ථාවරයේ පවතින “ප්රයෝජනවාදී සහ ද්විත්ව ප්‍රමිතිය” එළිදරව් වේ. එමෙන්ම, කුඩා රාජ්‍යයන්ගේ ස්වෛරීභාවයට හානි වන අයුරින් සහ අසමබර වාර්තා පදනම් කරගනිමින් කටයුතු කළ නවනීදන් පිල්ලේ වැන්නවුන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම මගින් තහවුරු වන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ සාම සම්මාන පද්ධතීන් පවා “දේශපාලනමය මෙවලම්” ලෙස භාවිතා වන බවයි. එම නිසා, ඇමරිකාවට ICC ය විවේචනය කිරීමට ඇති නෛතික හා මානුෂීය අයිතිය මෙන්ම, නවනීදන් පිල්ලේගේ මධ්යස්ථභාවයද අපක්ෂපාතී විවේචනයට ලක්විය යුතුය.
– යසස් ධර්මදාස
3 Viewers





