බැරිකම
පන්සල්, පල්ලි, කෝවිල් ආදියේ ආරක්ෂාව ඇතුළු කටයුතු සඳහා හමුදාවේ සෙබළුන් යෙදවූයේ ඇයි කියා ඔබ දන්නවා ද? යුද්ධයක් කියන්නේ ඉතාම බිහිසුණු අත්දැකීමක්. යුද්ධය අවසන් කළ පසු එහි සටන් කළ සෙබළුන්ට මානසික අස්වැසිල්ලක් අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ උසස් නිලධාරීන් අවබෝධ කර ගත්තා. ඒ සඳහා ඔවුන් විවිධ වැඩසටහන් කළා. පූජනීය ස්ථාන සඳහා සෙබළුන් අනුයුක්ත කිරීම ගෝඨාභය මහතා ගත් එවැනි එක් පියවරක්.
එය ඉතාම ප්‍රබුද්ධ විසඳුමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. යුද්ධයක ඉදිරි පෙළ සිට මුහුණ දුන් මිනිසුන්ට ආගම ධර්මයෙන් ලැබෙන සැනසීම මෙතෙකැයි කියන්න බැහැ. පන්සලක පල්ලියක කෝවිලක වැඩ කරන්න ලැබීම ඔවුන්ට මහත් සහනයක්. පන්සලේ ස්වාමින් වහන්සේ ඔවුන්ට සලකන්නේ කරුණාවෙන්. පල්ලියේ කෝවිලේ පූජකයන් ඔවුන්ට සලකන්නේ ආදරයෙන්. ඒවාට එන බැතිමතුන් ඔවුන්ට සලකන්නේ ගෞරවයෙන්. යුද්ධයෙන් තැවුණු ඔවුන්ගේ සිත් නිවන්න තමයි ඔවුන් එම පූජනීය ස්ථාන වෙත යොමු කළේ.
එයින් ඔවුන්ගේ ජිවිතයට නව පරමාර්ථයක් ලැබුණා. ආගම ධර්මය ඉගෙන ගන්න ලැබුණා. පන්සල් පල්ලි කෝවිල් හදන්න තමන්ගේ ශ්‍රමය යොදවන්න අවස්ථාවක් ලැබුණා. එය ඔවුන්ට විශාල සතුටක් ගෙන දුන්නා. හමුදාවේ කෑම්ප් ඇතුළට වෙලා කල් නොමරා ඔවුන් නැවතත් පොදු සමාජය සමග ක්‍රමයෙන් මුහු කරන්න එයින් හැකි වුණා. ගෝඨාභයගේ වැඩ බොහෝමයක් ඔය වගේ. ඔහු කිය කිය නෙවෙයි ඒවා කළේ. නමුත් ඔහුගේ වැඩ පිටුපස හොඳ දැක්මක් තිබුණා.
අනුර කුමාරටත් අද මානසික අස්වැසිල්ල ලැබෙන්නේ පන්සලෙන්. නමුත් ඔහුගේ නොදැනුවත්කමට ඔහු අර සෙබළුන් සියලු දෙනා පන්සල් පල්ලි කෝවිල් ආදියෙන් ඉවත් කළා. දැන් ඔවුන් කාලය මරමින් ඉන්නවා කෑම්ප් ඇතුළේ. රටක නායකයෙක් වෙන්න නම් ලෝකය පිළිබඳව පුළුල් අවබෝධයක් තිබිය යුතුයි. අනුර කියන්නේ ජීවිත අත්දැකීම් පැත්තෙන් පොඩි මිනිහෙක්. යුද්ධයක් තියා ගෙයක් දොරක් පවුලක්වත් කළමනාකරණය කළ මිනිහෙක් නොවෙයි. දළදා ප්‍රදර්ශනය සංවිධානය කරන්න දෙන්න තිබුණේ හමුදාවට. එහෙම කළා නම් ඔය අද අප දකින ප්‍රශ්න අඩු වෙනවා.
හිර කූඩු වගේ පෝලිම්වල වයසක උපාසක උපාසිකාවන් සහ කුඩා දරුවන් ගාල් කරලා ගෙනයන්න හදපු එකෙන් ම තේරෙනවා මෙවැනි ලොකු වැඩ සංවිධානය කිරීමට අනුරලා නොදන්නා බව. ඒ පෝලිම් දැක්කම මතක් වෙන්නේ ජර්මනියේ නාසි වධකාගාර වෙත යුදෙව්වන් ගෙන ගිය කම්බි කූරු ගහපු පෝලිම්. දවසක් තිස්සේ පෝලිමේ ඉඳලා දළදා කරඬුව තිබෙන මහළට එන වයසක උදවිය දුව දුව වන්දවන හැටි දැක්කම හිනා යනවා. උන් වැඳ වැඳ දුවනවා. පව් ඒ මිනිස්සු. අනුරලාට පණ්ඩිතකම තිබුණට මහපොළොවේ වැඩ කරන්න බැහැ. මෙවැනි දේ නිසි ආකාරයෙන් සැලසුම් කරලා කරන්න හමුදාව දන්නවා. ව්‍යාපෘති කළමනාකරණයේ (Project Management) ක්‍රම සහ විධි බොහෝමයක් මුලින්ම හැදුණේ යුධ හමුදා තුළ.
පොලිසියට මේවා කළමනාකරණය කිරීමට එච්චර දැනුමක් සහ අත්දැකීම් නැහැ. විතරක් නොවෙයි ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙනවා. හමුදාව ඉවත් කරලා පොලිසිය දැමීමෙන් වෙන්නේ වෙනත් පොලිස් රාජකාරි සඳහා පිරිස නැති වීම පමණයි. මෙවැනි ප්‍රායෝගික වැඩ ගැන අනුරලාට අවබෝධයක් නැහැ. නිකමට හිතන්න වසංගතය වෙලාවේ අනුර ජනපති වෙලා හිටියා නම් කොහොමට තියෙයි ද? නිරෝධායනය, එන්නත්කරණය වගේ වැඩ හමුදාවට බාර දුන්නේ ඇයි කියලා දැන් ඔබට අවබෝධ විය යුතුයි.
දැන් ලංකාව හරියට පොඩි එවුන් ටිකක් එකතු වෙලා කරන සෙල්ලම් ගෙයක් වගේ. මේ වගේ ආණ්ඩුවක් යටතේ යුද්ධයක්, වසංගතයක්, ආර්ථික අර්බුදයක් එහෙම ආවොත් නම් දෙයියන්ගේ ම පිහිටයි. හීනෙන්වත් එසේ නොවේවා! ධර්මය අපට මග වේවා!
12 Viewers





