• Home »
  • Articles »
  • බුද්ධඝෝෂ හිමි කවුද? මොනවාද කළේ?..

බුද්ධඝෝෂ හිමි කවුද? මොනවාද කළේ?..

අපේ ථෙරවාදී සම්ප්‍රදාය ඇතුළේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට තියෙන්නේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්. විසුද්ධිමග්ගය කියන විශිෂ්ට ග්‍රන්ථය සම්පාදනයත් අටුවා ලිවීමත් නිසා තමයි මේ පිළිගැනීම උන්වහන්සේට ලැබිලා තියෙන්නේ. ඒත් උන්වහන්සේවත් උන්වහන්සේ විසින් සිදු කළ කටයුතුත් විවේචනය කරන පිරිසක් මෑත කාලයේ ඉස්සරහට ඇවිල්ලා. පෙර පැවැති හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීම බුද්ධ ධර්මයට කරපු විශාල හානියක් කියලා කියන ඒ පිරිස බුද්ධඝෝෂ හිමියන්ව විදේශ ඔත්තුකාරයෙක් කියලා හඳුන්වන තරමට ම සාහසික වෙලා.

උන්වහන්සේ කළ කී දෑ ගැන කිසිම අවබෝධයක් ඇති අය නෙවෙයි මේ දේවල් කියන්නේ. අටුවා පාලි භාෂාවෙන් ලියන කටයුත්ත ආරම්භ කෙරිලා තිබුණේ උන්වහන්සේ අපේ රටට එන්න කලින්. බුද්ධදත්ත වගේ අටුවාචාරීන්වහන්සේලා ගැන පොඩි ළමයි පවා දන්නවා. එහෙම නම් අටුවා පාලියට පෙරලන කටයුත්තේ ආරම්භකයා විදිහට බුද්ධඝෝෂ හිමියන්ව සැළැකිය යුතු නෑ.

මේ කටයුතුවලට අදාළ කරුණු කාරණා හොඳින් පැහැදිළි කරගැනීමට නම් අපිට අපේ ශාසනික සම්ප්‍රදායයන් ගැන විතරක් නෙවෙයි අපේ ජාතික අරමුණු ගැනත් අවබෝධයක් තියෙන්න ඕන. අපි ඒ ගැන කියලා මේ කාරණය පැහැදිළි කරගනිමු.

අපේ ජාතියට ඉතාමත් පැහැදිළි අරමුණක් තියෙනවා. මේ අරමුණ හොඳින් අවධාරණය කරලා ප්‍රකාශයට පත් කළේ දුටුගැමුණු මහ රජතුමා විසින්. එළාර සමඟ සටනට සැරසෙද්දි තමයි එතුමා ඒ අරමුණ ප්‍රකාශයට පත් කළේ. තමන් සටන් කරන්නේ රජ සැප පිණිස නොවන බවත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස බවත් එතුමා කිව්වා. ඒ අරමුණ වෙනුවෙන් තමයි අපේ ජාතිය එතුමා වටා එකතුවුණේ. ඒ සටන දිනලා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කළ කැපැවීම හින්දා තමයි එතුමාව අපේ අසහාය ජාතික වීරයා විදිහට අපි සළකන්නේ.

දුටුගැමුණු – එළාර යුද්ධයෙන් පස්සේ අවුරුදු දෙදහෙකට වඩා ගතවෙලා තිබුණත් අපේ මේ ජාතික අරමුණ වෙනස්වෙලා නෑ. අදටත් අපි බුද්ධ ශාසනය රැකගන්න කොච්චරක් නම් දේවල් කරනවා ද? අපි වෙහෙර විහාර හදන්නේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. දරුවෝ මහණ කරවන්නේ ඒ වෙනුවෙන්. මොන අඩුපාඩු තිබුණත් භික්‍ෂූන්වහන්සේලා අවශ්‍ය චීවර, පිණ්ඩපාත, ගිලන්පස සපයලා දීලා අපි උන්වහන්සේලාව පෝෂණය කරන්නේ, රැකගන්නේ ඒ වෙනුවෙන්.

බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අනතුරක් ඇතිවෙනවා කියලා යන්තමින් හරි තේරුණොත් අපි කලබල වෙනවා. ඒ අනතුර නැතිකරලා දාන්න අපි ඉස්සරහට එනවා. ඒ වෙනුවෙන් සංවිධානගත වෙනවා. වාද-විවාද කරනවා. සමහර වෙලාවට ගහ මරාගන්න පවා ඉදිරිපත් වෙනවා. මේ වගේ වෙලාවට අන්‍යාගමික පණ්ඩිතයෝ පවා අපිට බුදු බණ කියලා දෙන්න එනවා. ඒත් අපි ඒ වැදි බණ අහලා ඇටවැල අතට ඇරගෙන සිල් රකින්න යන්නේ නෑ. අපි අපේ ජාතික අරමුණ ගැන හොඳින් දන්නවා.

චෝල ආක්‍රමණය හින්දා ශාසනික සම්ප්‍රදායයන් බිඳවැටුණාම අපි කම්පාවුණා. ඉතින් මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහය යටතේ දිඹුලාගල කාශ්‍යප නා හිමියන්ගේ නායකත්වය යටතේ ශාසනික ශෝධනයක් කරලා අපි ශාසනය රැකගන්න කටයුතු කළා. තවත් කාලයක් ගතවුනාම, කාලිංග මාඝයා ඇවිල්ලා මහා විනාශයක් කළා, ධර්ම පුස්තක බැමිවලින් ලිහලා හතර වටේ විසුරුවලා, පොත් පත් ගිණි තියලා අපේ ශාසනයේ චිරස්ථිතියට විශාල අනතුරක් කරන්න කාලිංග මාඝට පුළුවන් වුණා. ඊට පස්සේ දඹදෙණිය යුගයේ අපි කරපු මූලික ම කටයුත්ත වුණේ ධර්ම ග්‍රන්ථ නැවත නැවතත් ලියලා කාලිංග මාඝයා කරපු හානියෙන් ශාසනය මුදවාගන්න එක.

වෙනත් විකල්පයක් නැති තැනට ජාතිය දුර්වල වෙලා ඉංග්‍රීසින්ට ගිවිසුමකින් රටේ පාලනය පවරලා දෙන වෙලාවේත් අපි අපේ ජාතික අරමුණ අමතක කළේ නෑ. ඉතින් 1815 උඩරට ගිවිසුමටත් මේ කාරණය ඇතුළත් කරන්න අපිට පුළුවන් වුනා. රට පාලනය කරනවා නම් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වගවෙන්න ඕන කියන කොන්දේසිය අපි ඉංග්‍රීසින්ට ඉදිරිපත් කළා. ගිවිසුමට පටහැනිව මොන දේ කළත් ඉංග්‍රීසින් ඒ වෙනුවෙන් විවිධ නියෝග පනවමින් කටයුතු කළේ මේ ජාතික අරමුණ නො සළකා හැරියොත් සිද්දවෙන්න පුළුවන් අනතුර වටහාගෙන හිටිය හින්දා.

ඉංග්‍රීසි පාලන කාලය ඇතුළේ ම ඇතිවෙච්ච ආගමික වාදවලට අපි ඉදිරිපත්වුණෙත්, ඒවායින් දිනලා විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් ඇති කරගෙන ඉස්සරහට ගියෙත් මේ ජාතික අරමුණ අපි අමතක කරලා නො තිබුණු හින්දා. තමන් පවරාගත්ත වගකීම නැති ව්‍යවස්ථාවක් ඉංග්‍රීසි පාලකයෝ හැදුවේ 1947 දී. ඒ, උන් අපිට අපේ පාර්ලිමේන්තුවක් පිහිටුවාගන්න දීලා ආපහු යන්න සූදානම් වෙද්දි.

මේ දේ නිවැරැදි කරගන්න අපිට පුළුවන් වුණේ ඊට අවුරුදු 25 කට පස්සේ. ඒ කියන්නේ, 1972 දී. ඉතින් අදටත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තමන්ගේ වගකීමක් විදිහට පිළි ඇරගෙන අපේ ආණ්ඩු කටයුතු කරනවා. මේ වෙනුවෙන් ආණ්ඩුවලින් හරි හමන් සේවයක් සිද්ද නොවෙන එක ඇත්ත. ඒත් මේ වගකීම නාමිකව හරි ආණ්ඩුව භාරගන්න ඕන කියලා අපි හිතනවා. ඉතින් ඒ වගකීම පැත්තකින් තියලා ව්‍යවස්ථා හදන්න යද්දි අපි ආයෙත් පාරට එනවා. අපිට අපේ ජාතික අරමුණ ගැන හොඳ අවබෝධයක් තියෙන හින්දායි අපි මේ විදිහට ඉස්සරහට එන්නේ.

මේ අරමුණ අපේ සම්, මස්, නහර, ලේ, ඇට විනිවිදගෙන ගිහිල්ලා ඇට මිදුළු දක්වා ම කිඳාබැහැලා තියෙන බව පැහැදිළියි. මෑත කාලයේ අලුත් ශාසනික සම්ප්‍රදායයන් හඳුන්වලා දෙන්න යම් යම් පිරිස් කටයුතු කරද්දි, ධර්මය විකෘති කර කර අලුත් බණ කියන පිරිස් ඉස්සරහට එද්දි අපි ඒවාට එරෙහිව සංවිධානය වෙන්නෙත් මේ අරමුණ ගැන හොඳින් දන්න හින්දා.

අපේ ජාතික අරමුණත් එක්ක බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා මේ ලිපිය කියවන අයට දැන් හිතෙන්න පුළුවන්. ඒ කාරණය තේරුම්ගන්න පුළුවන් උන්වහන්සේ විසින් සම්පාදනය කරපු අටුවා ග්‍රන්ථවල මුල් පිටු කියවනවා නම්. “ථෙරීය වංශයට පහන් බඳු වූ විනිශ්චයෙහි මැනැවින් නිපුණ වූ මහා විහාරවාසී තෙරවරුන්ගේ දහම නො ඉක්මවමින්, සුදනන් ගේ සතුට පිණිස ද ධර්මයේ චිරස්ථිතිය පිණිස ද යළි යළිත් පැමිණි අරුත් හැර අර්ථ ප්‍රකාශ කරන්නෙමි” කියලා මේ කාරණය අටුවා ග්‍රන්ථවලට ඇතුළත්වෙලා තියෙනවා.

අටුවා ග්‍රන්ථ සම්පාදනය කෙරිලා තියෙන්නේ ධර්මයේ චිරස්ථිතිය වෙනුවෙන්. මේ කටයුත්ත පවා තම අභිමතයට කරන්න අටුවාචාරීන්වහන්සේලා කටයුතු කරලා නෑ. මේ කටයුත්ත කරලා තියෙන්නේ “මහාවිහාර අර්ථ දැක්වීම්” ඉක්මවන්නේ නැති විදිහට.

බුද්ධඝෝෂ හාමුදුරුවෝ මහාවිහාරයට වැඩම කළ පමණින් උන්වහන්සේට අටුවා සම්පාදනය කරන වැඩේ භාර කෙරුණේ නෑ. අපේ හාමුදුරුවරු මුලින් ම කළේ උන්වහන්සේගේ හැකියාව, දැනුම සහ ධර්මය තේරුම්ගන්නා ආකාරය පරීක්‍ෂා කිරීම. විසුද්ධිමග්ගය කියලා කියන්නේ මේ විභාග‍යට බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉදිරිපත් කරපු නිබන්ධනය. මේ නිබන්ධනය තුන් වතාවක් ලියන්න උන්වහන්සේට සිද්දවුණා. ඉතින් ඒ විදිහට විභාගයෙන් සමත්වුණාට පස්සේ තමයි අටුවා සම්පාදන කටයුත්ත උන්වහන්සේට භාර කෙරුණේ.

අටුවා සම්පාදනය කියන්නේ මහා විහාරීය මහා ස්ථවරයන්වහන්සේලා විසින් ආරම්භ කරලා තිබුණු මහා ව්‍යාපෘතියක්. මුල් කාලයේ මේ කටයුත්තට සම්බන්ධ වුණේ ප්‍රාමාණික දැනුමෙන් පිරිපුන් වයෝවෘද්ධ භික්‍ෂුන්වහන්සේලා. ඒත් ඒ වගේ භාරදූර කාර්යයක් ඒ විදිහට කරගෙන යන්න අමාරුයි. ඉතින් ඒ වෙනුවෙන් දහම මැනැවින් ඉගෙනගත්ත, අපේ මහාවිහාරීය අර්ථදැක්වීම් ඒ විදිහට ම පිළිගන්න තරුණ අටුවාචාරීන්වහන්සේ නමක් හොයාගන්න සිද්දවෙලා තිබුණා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ තමයි ඒ වෙනුවෙන් පවත්වපු පරීක්‍ෂණවලින් සමත්වුණේ. ඉතින් උන්වහන්සේට ඒ කටයුත්ත භාර කෙරුණා.

ධර්මයේ අර්ථ දීර්ඝ කාලයකට රැකදෙන්න දිනපතා වහරන භාෂාවකට බෑ. සිංහල භාෂාවේ අර්ථ වෙනස්වෙන විදිහ අපි දන්නවා. “පරිප්පු” කියන වචනයේ තියෙන්නේ ඒ නමින් හඳුන්වන ධාන්‍ය වර්ගය ගැන අදහස විතරක් ම නෙවෙයි. “එයා හොඳ උපාසක අම්මා කෙනෙක්” කිව්වොත් ඒකෙන් කියැවෙන්නේ වෙන දෙයක්. බුද්ධ ජයන්ති ත්‍රිපිටක සිංහල පරිවර්තන අද ඉන්න බොහෝ දෙනෙක්ට තේරෙන්නේ නෑ. මෙහෙම වෙන්නේ දිනපතා වහරන භාෂාවක අර්ථ නිරන්තරයෙන් වෙනස්වෙන හින්දා.

ඉතින් අටුවා පාලි භාෂාවෙන් සම්පාදනය කරන්න මහාවිහාරීය ස්ථවිරයන් වහන්සේලා තීරණය කළේ මේ කාරණය හොඳින් දැනගෙන හිටිය හින්දා. නාගාර්ජුනපාදයන් විසින් ඉදිරිපත් කරපු මාධ්‍යමික අදහස් හින්දා ආන්ද්‍ර ප්‍රදේශයේ තිබුණු ථෙරවාදී බුද්ධාගම අභියෝගයට ලක්වුණා. මේ වගේ අදහස් අපේ රටටත් ගලාගෙන ආවා. ඉතින් හිතෙන හිතෙන විදිහට ධර්මය පැහැදිළි කරන අය අද වගේ ම එදත් ජීවත්වුණු බවට සැකයක් නෑ. ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්මය සහ අර්ථ සුරැකිය යුතුයි කියන තීරණයට මහාවිහාරීය ස්ථවිරයන්වහන්සේලා එළැඹුණේ මේ කාරණය අත්දුටු හින්දා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියන්නේ ඒ වෙනුවෙන් යොදාගත්ත ධර්මඥානයෙන් පිරිපුන් ප්‍රාඥයෙක්!

– ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ෴



24 Viewers