මට නන්දා සමග තරහක් නෑ.

නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
88/89 කාලයෙත් විශ්ව විද්‍යාලය දක්වා ආපු දේශපාලන ජිවිතයේදිත් නන්දා මාලනිගේ පවන 1 සහ 2 කොටස් දෙකම දැවන්ත විප්ලවීය ආශ්වාදයක් ලබා දුන්නා. මගේ වැටහීම මහාචාර්‍ය සුනිල් ආරියරත්නගේ ගේය සංකල්පනා තමයි ඇයගේ හඬ පෞර්ෂයේ කොඳු නාරටිය. එස්. මහින්ද හාමුදුරුවන්ගෙන් පස්සේ සුනිල් ආරියරත්න තරම් ඇඟේ හිරිගඩු පිපෙන්න , මවිල් කෙලින් වෙන්න පන්හිඳ හසුරවපු කෙනෙක් නෑ. (සමාවෙන්න මම ලංකාවේ ගීත කලාව ගැන විශේෂ හැදැරීමක් කරලා නෑ. හුදු රසිකයෙක් විතරයි.) පවනේ එන කිසා ගොතම්ය සිද්ධාර්ථට කියු නිබ්බුත පදමයි මාඅ නුඹට කියන්නෙ ගීතය ඇසුරින් යෙසුස් වහන්සේ තුලින් තාරුණ්‍යයට කල විප්ලවීය ආරාධනය තවමත් ඇඟ කිලිපොලා යනවා.
ප්‍රේමයේ විරහව තුලත් ගීතයේදි ඇය ව්රාජමානයි. විරහවේ සොවින් කඳුලින් ගෙවුන බොහෝ රාත්‍රීන් ඇයගෙ හඬින් සුවපත් උනා. ලොවම එපාවි.. ඔබයි රම්‍ය සඳකිරණ… හදවත පසාරු කරගෙන ගියා. ඒ ප්‍රමාණයට මනෝ ගහන්න පුලුවන් ගීත ගයපු අනිත් ගායකයා කපුගේ විතරයි. (ඒකත් මගේ විනිශ්ච්‍යයක්) .

ඒ විතරක් නෙමේ ඇයගේ හඬින් ගයපු “අම්මාවරුනේ ” ඒ චිත්‍රපටයේ රූප ජවනිකාව ඉස්මතු කලා පමණක් නොව , සදාතනිකවම මගේ ප්‍රියතම ගීතය.

“ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ”
කොහෙන් පටන් ගත්තත් ජිවිතයේ අන්තිමට ආදරේ නතර වෙන තැන අම්මා…
මගේ ජිවිතයේ ඊළඟ කාලය, අද හෙට අනාගතය අපේ මවුබිම. දේශානුරාගයේ හඬ ජවය සහ අභිමානය ඇයයි. “හෙළයින් වී අප හෙළේ උපන්නේ
හෙළයේ සිව් රියනක සැතපෙන්නයි
ඒ සිව් රියනේ අප සැතපුණු බව
හෙළ හදවත්වල රඳවන්නයි…

සිරුර පුරා යන ලේ දහරා
මව් දෙතනේ සිංහල කිරට පෙරේ
ඒ සිංහල කිරි බී වැඩෙනා උන්
මව් බිම නාමෙන් සටන් බිමේ…

යස ඉසුරින් පිරි රටවල් ඇති ලොව
අපට අපේ රට නිවන ගෙනේ
රට දැය සමයේ නාමෙන් යුධ වැද
මරණය සැපතකි රණ දෙරණේ… ”
මේ ගීතය අපේ ජාතික ගීය වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. එහෙම අමාරු නම් උදෙට හවසට දෙවරක් අහලා නැගිටීන්න ඕනේ. අපිට මේ වගේ ගීත රැසක් ඕන කාලයක්. උඬගු ලියන් ගොතා බඳින.. මේ වගේ ඇය පණදුන් ජාතික අභිමානි ගීත රැසක් දායාද කලා.
නන්දා මාලනි එංගලන්තයේදි “මේ සිංහල අපගේ රටයි” ගීතය ගයන්න බෑ කිවුවාලු. මම නම් දන්නේ නෑ. ඒත් ඒ ගැන මගේ තරහක් නෑ. සමහර විට කාලෙන් කාලෙට ඇගේ අදහස් මතවාද වෙනස් වුනා වෙන්න පුලුවන්. පහුගිය අවුරුදු 20 දි අතන මෙතන රතන වෙලා නන්නත්තාර වු දේශාපාලඥයෝ කොයිතරම් ඉන්නවාද? අපි එහෙම වුන්ට තවම චන්දේ දෙනවා. අපේ නායකයෝ කියලා සලකනවා. ඉතින් නන්දට වෙනස් වෙන්න ඇකපද?

සමහර විට සුනිල් ආරියරත්න ලියලා දෙන ඕන සින්දුවක් නන්දා කිවුව වෙන්නත් ඇති. සමහර නිළියෝ පෝයදාට සුදු පාට දිගට ඇඳලා කොන්ඩේ කරලට ගැට ගහලා උපාසක වගේ ඉන්නවා. අනිත් දවස් වලට අමු හෙළුවෙන් රියලටි වල රඟනවා. ඒක ඉතින් අධ්‍යක්ෂකගේ පිටපත මිසක් නිළියගේ ආකල්ප නෙමේ. පෙබරවාරි මාසේ හන්දිවල සිංහ කොඩි විකුණන උන් දේශප්‍රේමින් කියලා හිතන්න්වත් මැයි මාසයේ වෙසක් කුඩු විකුණන වුන් බෞද්ධයන් කියලා හිතන්නවත් අපි ඉක්මන් වෙන්න හොඳ නෑ. මොකද උන් අගෝස්තු වල සරුංගල් විකුණලා දෙසැම්බර් වල නත්තල් ගස් විකුණන බව අපි දැන ගත යුතු නිසා. ඒ නිසා මට නන්දා සමග තරහක් නෑ. මොකද මම දන්නවා වේදිකාවල කතා කරලා පොර ටෝක් දෙන හුඟක් උන්ට ඒව නිකම්ම කතා විතරයි. උන් ඒවායේ ජිවත් වෙන්නේ නෑ. මට නන්දාගෙන් වියුක්ත කරලා ඒ හඬ විඳින්න පුලුවන්. මම ඇයට උතුම් නිවන් සුව පතනවා..
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව



2 Viewers