• Home »
  • Articles »
  • 1996 ජුලි 20 මුලතිව් පල්ලියේදී දැයට අහිමි ශ්‍රේෂ්ඨ සෙන්පතියා

1996 ජුලි 20 මුලතිව් පල්ලියේදී දැයට අහිමි ශ්‍රේෂ්ඨ සෙන්පතියා

ඔහු සැබෑ වීරයෙකි. කාලය වැලි තලාවෙන් වැසී ගිය ලක් ඉතිහාසයේ අප්‍රකට වීර චරිතයක් වන ඔහු නමින් 1996 මුලතිව් මහ සටනේදී සිඳී ගිය රන් අසිපත නොහොත් මේජර් අතුල තේඡ කුලතිලකය. ඓතිහාසික වීර විරුවන් දැයට දායාද වු ඇතුගල්පුර ඉබ්බාගමුව උපන් ගම් නියාව වුණු සෙන්පති අතුල තේඡ කුලතිලක කුරුණෑගල ඉබ්බාගමුව මහා විද්‍යාලය නම් වු මේ උත්තරීතර දේශයේ නිදහස වෙනුවන් බොහෝ වටිනා සුජාත පුතුන් දැයට දායාද කළ ඒ මහ පුණ්‍ය භුමියෙන් මේ ලක් මවට දායාද වු රන් අසිපතකි. ඔහු බිය නොහොදුනති . එඩිතරකම , නිර්භය අන්දමින් හෝ පෙරට යන නාමයේ අර්ථයෙන්ම තේජවන්ත මහ කලු සිංහලයෙකි.
මේජර් අතුල තේඡ කුලතිලක තමන් රාජකාරී කටයුතු කළ මුලතිව් කඳවුරේ ප්‍රධාන අණ දෙන නිළධාරියා නොමැති මොහොතක කඳවුරට එල්ල වු දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේදී , 25 වන බළ සේනාවට අයත් 06 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ” SSG Platoon Commander ” නොහොත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන අණ දෙන නිළධාරියා විය. වර්ෂ 1996 ජුලි මස 18 වනදා සතුරු පළමු මෝටර් ප්‍රහාරයේ සිට ඔහු සංග්‍රාම භුමියේ සටනක රණවිරුවෙක් අදිනු පළදිනු ලබන සංග්‍රාමික ඇදුම් කට්ටලයකින් සැරසී නොසිටියහ. මන්ද මේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එකවරම කඳවුරට එල්ල වු නිසාය. මේජර් කුලතිලක අත් දිග නිල් සුදු ජර්සි එකක් සහ නිල් පාට දිග බොටම් කලිසමක් සහ සුදු සපත්තු දෙකකින් සැරසී පසුපසට යාම වෙනුවට තම බළ ඇණියට අයත් මුලස්ථානය රැක ගැනීමට ඉදිරියට ගොස් සටන් වදින්නට තීරණය කොට තිබුණි. තම අණ දෙන නිළධාරියා වු මේජර් තුවාන් රූබබ් අහමඩ් අලීබා පළමු ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ දැනුවත් කළ මේජර් අතුල තේඡ කුලතිලක තම සෙබළුන්ට විශේෂ උපදෙස් හා නිවැරදි අණ දීම් දෙමින් සතුරාට තම බළ ඇණියට අයත් මුලස්ථානය අත්පත්කර ගැනීමට ඉඩ නොදීම තිර අදිටන් කරගෙන සටන් වැදුණේය. මේ මොහොත වන විට සියල්ල පැටළුණු නුල් බෝලයක් බඳු තත්ත්වයක් වෙද්දී, අණ දෙන නිළධාරියා වු මේජර් අලීබා මුලස්ථානය හා සම්බන්ධ වෙන්නට ගිය අවස්ථාවේ දී පාද දෙකකටම සතුරු මෝටර් ප්‍රහාරයකින් හානි වීම මත ජ්‍යෙෂ්ඨ නිළධාරියාගේ නිසි අණ දීමේ භුමිකාව ද ගැටලු සහගත තත්ත්වක පැවතුණි. එහෙත් කෝප වන්නට හෝ හඬා වැටෙන්නට කාලයක් නොමැත. නොසැලී සිටි මේජර් අතුල තේඡ කුලතිලක නම් තේඡවන්ත ශ්‍රේෂ්ඨ සෙන්පතියා වර්ෂ 1996 ජුලි මස 19 වනදා මුලස්ථානයේ දී තමා යටතේ වු සහෝදර රණවීරුවෙක් වු කෝප්‍රල් සිල්වාගෙන්

” සිල්වා කෝ අනිත් කට්ටිය ” යනුවෙන් විමසීය.

නමුත් මේ වන විට වෙල් යාය පසු කොට 06 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් මුලස්ථානය වෙත පැමිණෙන්නට ආ බොහෝමයක් 06 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ වු භටයන් තුවාල සහ මියායම් වලට ලක් වු අතර , කෝප්‍රල් සිල්වා සහ අතලොස්සකට හැර අන් කිසිවෙකුට 06 වන බළ ඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් මුලස්ථානය වෙත පැමිණෙන්නට නොහැකි විය.

කෝප්‍රල් සිල්වා මේ සියල්ල මේජර් අතුල තේඡ කුලතිලකට දැනුම් දුන් අතර, මේජර් අතුල තේඡ කුලතිලක වහාම කෝප්‍රල් සිල්වා අමතා අසල වු ගුවන් විදුලි පණිවුඩ යන්ත්‍රය දැක එය වහාම කෝප්‍රල් සිල්වාගේ කරට දමා ගන්නා ලෙසට පැවසීය.

මේජර් අතුල තේඡ කුලතිලක තම බඩියා වු කෝප්‍රල් කේපීජී ජයවර්ධන , කෝප්‍රල් බංදුතිලක, කෝප්‍රල් සමරසිංහ සහ කෝප්‍රල් ප්‍රේමරත්න සහ කෝප්‍රල් සිල්වාට නිසි උපදෙස් දෙමින් සතුරාට දැවැන්ත වාසියක් අත් වු මේ සටනේදී ඉදිරියට කළ යුතු සියලුම දේ මේ කිහිප දෙනා හා එක්ව කරන්නට කටයුතු කළහ.

මේ මොහොතේ මේජර් අතුල තේඡ කුලතිලකගේ ප්‍රධාන ඉලක්කය වුයේ 06 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් අවි ගබඩාව දෙසට ගමන් කිරීමය. නමුත් මරණයේ සෙවණැල්ල එහා මෙහා ගමන් කරන මේ මාරාන්තික අවස්ථාවේ දී මේජර් අතුල තේඡ කුලතිලක තමා පන්නයේම වීර රණවිරුවන් පස් දෙනා සමග

අවි ගබඩාව දෙසට නිර්භීත අන්දමින් නිර්භීත සෙන්පතියෙකු ලෙස ලගා වත්ම අවි ගබඩාව භාරව සිටි කෝප්‍රල් මල්ලව පල්ලිය අසල වු විශාල නුග ගසේ සිටි එල්ටීටීඊ ත්‍රස්තයෙක් එල්ල කළ ස්නයිපර් ප්‍රහාරයක් හිසට වැදීමෙන් එම ස්ථානයේදීම මව්බිම වෙනුවෙන් දිවි දී තිබුණි. එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වු මේජර් අතුල තේඡ කුලතිලක කෝප්‍රල් රාමනායක සහ කෝප්‍රල් හරිස්චන්ද්‍රට එම්පීඑම්ජී දෙකක් යොදාගෙන විශාල නුග ගහේ සිටින එල්ටීටීඊ ත්‍රස්තයා වැටෙන තුරු ප්‍රහාර එල්ල කරන ලෙසට පැවසීය. එම උපාය සාර්ථක වු අතර, එම නිසා අවි ගබඩාව හරහා සතුරාට නොපෙනී ආරක්ෂිතව සහ උපායමාර්ගිකව ගමන් කිරීමේ මාර්ගයක් විවර කර ගැනීමට හැකි විය.

ඒ අනුව වහාම තව දුරටත් ආරක්ෂක වළල්ල රැක ගෙන සටන් වදින්නට මේජර් අතුල තේඡ කුලතිලක දුන් නායකත්වය ශ්‍රේෂ්ඨ නායකත්වයකි.

1996 ජුලි මස 18 ,19 දින දෙකම සතුරාට එරෙහිව මුලතිව් කඳවුරේ 06 වන බළ ඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් මුලස්ථානය රැක ගැනීමට දැඩි වෙහෙසකර සටනක කුසට අහරක්, ජල බිඳක් හෝ විවේකයක් නොමැති කටුක දුක් කන්දක් මැද මේජර් අතුල තේඡ කුලතිලක සහ ඉතිරි වු භටයන් තම මාතෘභුමියේ නිදහස වෙනුවෙන් සටන් වදිමින් සිටියහ.

දිනය වර්ෂ 1996 ජුලි මස 20 වනදා උදෑසනය. එකවරම ගුවන් විදුලි පණිවුඩ යන්ත්‍ර හරහා ආධාරක බළ ඇණි මුලතිව් වෙරළ ආසන්නයේ ගල්කන්ද ප්‍රදේශයේ සිටින බවත්, එම ප්‍රදේශයේ කොටසක් අත්පත්කර ගන්නා ලෙසට දැනුම් දීමක් ලැබුණි. ඒ අනුව එම දැනුම් දීමට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වු මේජර් අතුල තේඡ කුලතිලක සහ තවත් ඉතිරි වු භටයන් දහ දෙනෙකු වහාම පල්ලිය දෙසට නිර්භීත අන්දමින් කඩා වැදුණහ. නමුත් මෙතෙක් වෙලා හමුදා භට කණ්ඩායම් නොමග යවන සුළු පණිවුඩ පණිවුඩ යන්ත්‍ර හරහා යවන එල්ටීටීඊයේ එම උපාය දැයේ අවාසනාවකට මෙන් සාර්ථක වු අතර, මේජර් අතුල තේඡ කුලතිලක සහ සෙසු හටයන් දස දෙනා පල්ලිය තුලට ඇතුල් වනවාත් සමඟම බළ සේනා මූලස්ථානය දෙසින් සහ වෙරළ දෙසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වන්නට ගත වුයේ ඉතා කෙටි කාලයකි. එම අවස්ථාවේ පල්ලියේ තුළ සිටි මේජර් අතුල තේඡ කුලතිලක සොයා ආ මාරාන්තික එල්ටීටීඊ ප්‍රහාරය දින දෙකක් ප්‍රධාන අණ දෙන නිළධාරීන්ගේ බරද තම කරට ගෙන සහෝදර සෙබළුන්ට දැවැන්ත ශක්තියක් වු ඒ මහා වීරයාගේ අවසානය මුලතිව් පල්ලිය තුලදීම සනිටුහන් කොට තිබුණේ ලක් මාතාවම සසල කරමිනි.

තම නිදහස වෙනුවෙන් දින දෙකක් සතුරාගේ දුෂ්ට ක්‍රියා මැද රැයක් දවාලක් නොමැතිව කුසට නිසි අහරක් හෝ ජල බිදක් හරි අකාරව නොමැතිව සටන් වැද දිවි දුන් මේජර් අතුල තේඡ කුලතිලකගේ නිසල දේහය ඇය එකෙනෙහිම තම තුරුලට ගෙන හඬා වැළපෙන්නට විය.

මව්බිම වෙනුවෙන් දිවි දුන් ශ්‍රේෂ්ඨ ජාතික වීරයෙකුට හිමි ආචාර වෙඩි මුර සහිත රාජ්‍ය ගෞරව නොමැතිව තම දේශය වෙනුවෙන් අනෙක විධ කම් කටොලු මැද රාජකාරී කළ කඳවුර සමගම මේජර් අතුල තේඡ කුලතිලක නම් ශ්‍රේෂ්ඨ වීර රණකාමී නිළධාරියා මෙලොවින් සදහටම සමුගත්තේය. රජයෙන් දුන් මරණ සහතිකය වත් මේජර් අතුල තේඡ කුලතිලකගේ මව්පියන් පිළිගත්තේ නැත. තම ආදරණීය සුදු පුතා කොහේ හෝ ඉසව්වක සිට නැවත පැමිණෙන තෙක් ඒ අම්මා තාත්තා මේජර් කුලතිලකගේ නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් කල් මැරූහ.

බෝයගනය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ” නිහැඬියාවේ හඬ “උත්සවයේදී මේජර් අතුල තේඡ කුලතිලකගේ 83 හැවිරිදි පියා එදා වාඩි නොවී සිටගෙනම තම පුතු වන් තුන්දහසක් වු ඒ වීර පුතුන්ගේ නම් කොටා ඇති ඒ ස්මාරකය දෙස බලා සිටියහ. ඒය එවක කාගේත් නෙත් මදකට සංවේදී කරවන සුළු දසුනක් විය.

මිලේච්ඡ ත්‍රස්තයන් ලක් මව දෙකඩ කොට ඇගේ සාරය උරාගෙන බොන ලේ පිසාචයන් මෙන් ලක් මව වනසන්නට අර අදින මොහොතක ඇගේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පුද දී මොලොවින් නිහඬවම සැබෑ වීරයෙක් ලෙස නික්ම ගිය වීර සෙන්පතියාණනි! ඉර නැගෙන බැසයන සෑම මොහොතකම අප ඔබව සදා සිහිකරන්නෙමු…

✍රමේෂ් හසන්ත… (විශේෂ ස්තුතිය; මේජර් අතුල තේඡ කුලතිලකගේ වටිනා ඡායාරූපය මා වෙත ලබා දුන් තේඡ අත්තනායක මහතාට සහ සනුජ ඒකනායක මහතාට පිරිනමමි.)



6 Viewers