• Home »
  • Sinhala Articles »
  • මහ වන මැද හුදකලා වූ අපේ උරුමය සෙම්බුමලේ

මහ වන මැද හුදකලා වූ අපේ උරුමය සෙම්බුමලේ

පැහැදිලි අහස එකදු වලාවකින් හෝ තොරව ඒකාකාරී දීප්තියකින් යුතුව බබළයි.
අවරට හැරී හෝරා දෙකක් පමණ ගතව ඇතත් හිරු ගේ කාස්ඨක රැස් දැවී පිපිරී පතිත වී මහ පොලව දවාලයි . කාපට් ඇතිරූ මාර්ගයෙන් වැලි පාරට බට රථය වළ ගොඩැලි මතින් දිවෙන දුෂ්කර ගමනකින් පසු ව සුවිසල් විල්ලුවක් මතට අවතීර්ණ වෙයි.

චන්ඩ හිරු රශ්මියෙන් දැවී වියලී සිඳී ගිය විල්ලුවේ තැනින් තැන තවමත් ඉතිරිව ඇති මඩ වගුරු සහ දිය කඩිති ආසන්නයේ සිය ගනනින් ලැග සිටින ඇට සැකිලි වන් ගවරංචු පරඬැලින් කුස රවටාගනිති.
ඈතින් පෙනෙන ඉතිරිව ඇති දිය කඩිත්තක් වටා හිඳ කුඩ මසුන්ට මාන බලන සුවිසල් ප්ලැමිංගෝ කොක් රෑන එක්වර දකින කල පෙනෙන්නේ තවත් කින්නි ගව රංචුවක් මෙනි.

කුඩා පැටවුන් පිරිවරාගත් අලි රැලක් කිවුල් දියට ලොබින් විල්ලුවේ ඈත කොනකින් මතු වී සාන්ත ගමනින් දිය සොයා ඇදෙයි.
වසරේ කලෙක නොගැඹුරු ජලයෙන් වැසී කලෙක සිඳීයන පරිසරයට ඔරොත්තු දෙන ලෙස හැඩගැසුනු තැන තැන ඇති පඳුරු මත අතරින් පතර ලැග සිටින කොකුන් දියකාවුන් එකවර ඉගිල ගොස් දිය කඩිතිවල බැස කිමිඳ නැවත ලැග සිටි තැනටම පැමිනෙයි.
කාපට් දැමුවාක් මෙන් මට සිලිටු සුමට තැනිතලා විල්ලුව පසුකරන රථය නැවත වල ගොඩැලින් ගහන පටු මංපෙතකට අවතීර්ණ වෙයි.

එලඹෙන කන්නය සරු කරන්නට මග බලන ජල පිපාසිත කුඹුරු යායන් අප දෙපසින් ඉබි ගමනින් පසුපසට ඇදී යයි.
කුඹුරු යාය මැදින් මද දුරක් ගිය කල අප මේ ගමන රැගෙන ඒමට කාරුණික වූ කුච්ච්වේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරවාසී හිතවත් පූජ්‍ය කැප්පෙටියාවේ අරණවිහාරී ස්වාමීන් වහන්සේගේ අණින් රියෙහි ගමනට මද විරාමයක් ලැබෙයි.

” මම කැමරා පාවිච්චි කරන්නෙ නෑ ඔය මහත්තුරු මේවා වීඩියෝ කරගන අදාල තැන් දැනුවත් කරන්න ”
කවදත් උපශාන්ත උන්වහන්සේගේ වදන් මදක් වේගවත් වී ඇත.
“අර බලන්න මීට අවුරුදු කීපයකට කලින් මේ පාරෙ ඉඳන් මීටර් පනහක් විතර ඈතට විහිදුන කුඹුරු යාය දැන් මීටර් එකසිය පනහක් විතර ඈතට ගිහින්”
මේ කන්නෙටත් ඔය දිගටම රක්ෂිතය කපලා තියෙන්නෙ අලුතින් ලියදි එකතු කරගන්න”
වගකිවයුත්තො මොනතරම් දැනුවත් කලත් ඒ අය මේවට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නෙ නෑ”
අප යන මාර්ගයේ එක් පසෙකින් ඇති කුඹුරුයාය දිගටම මහ වනයට මායිම්ව පවතී.කැලයේ එක දිගටම ඇති වෘක්ෂ රාජයන් කපා බිම දමා රක්ෂිතය කුඹුරුකරුවන් විසින් අල්ලා ගැනීමට කටයුතු කරමින් සිටී.

ස්වාමීන්වහන්සේ පවසන හැටියට මෙය ඉතා දිගු කාලයක් මුලුල්ළේ සිදුවෙමින් පවතින නීති විරෝධී ක්‍රියාවකි. මේ සඳහා වගකිවයුතු අංශ ක්‍රියාත්මක නොවී පවතින්නේ අන්තවාදී කංඩායම් සහ කිසියම් ප්‍රභල හස්ථයන් මේ සඳහා රැකවරණය සපයමින් ක්‍රියාත්මක වීම නිසාද?

නැගෙනහිර පලාතේ සහ උතුරු පලාතේ ඇති බෞද්ධ පූජනීය ස්ථානයන් හා අපේ අනිකුත් උරුමයන් කාලාන්තරයක් මුලුල්ලේ ඉතා සෝචනීය ඉරණමකට මුහුන දෙමින් පවතියි.
දකුණේ විහාරස්ථානයකට වී දායකයන් මැද වඩාත් හොඳ ජීවිතයක් ගතකිරීමට හැකියාව තියෙද්දී අපේ ගෞරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා එම දිවිය අත හැර තබා මෙහි පවතින ගිනියම් කටුක පරිසරය මැද හුදකලා ව වෙසෙමින් අන්‍යාගමික අන්තවාදී බලවේගයන්ගේ නොයෙක් අඩන්තේට්ටම් වලට ලක් වෙමින් එකී උරුමය ආරක්ෂා කිරීමට දරන්නේ අසීමිත වෙහෙසකි .
බොහෝ තැන් හි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ නාවික හමුදාව උන්වහන්සේලාට ආරක්ෂාව මෙන්ම සිව් පසයද සපයමින් කරන්නා වූ මෙහෙය ඉතා ප්‍රශංසනීය බව කිව යුතු ය .
පෙර අප රජ දරුවන් රට අභ්‍යන්තරයේ මෙන්ම රට වටා ඇති මුහුදු තීරයේ වඩාත් සුන්දර ස්ථානයන් හි විහාර ආරාම කර වන ලදි .

බුන්දල , කිරින්ද , ඕකන්ද , පොතුවිල් මුහුදු මහා විහාරය , සංගමන් කන්ද , ලංකා පටුන , ගෝකණ්න , දඹකොල පටුන අදී එකී විහාරස්ථානයයන් අතර ඉතා මනරම් වෙරලතීරයක පිහිටි කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරස්ථානයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි .

සමුද්‍ර ඛාදනයෙන් මෙන්ම පරසතුරු ආක්‍රමණයන්ගෙන් මෙම විහාරස්ථානයෙහි පැවති බොහෝ දේ ඉතා අභාග්‍ය සම්පන්න ලෙස විනාශ වී ගොස් ඇති අතර විහාරස්ථානයට අයත් වෙරළට මායිම්ව පවතින ගලින් නිර්මිත කුඩා කඳු ගැටයෙහි තවමත් පුරා වස්තු කිසියම් ප්‍රමාණයක් ඉතිරිව පවතී .කඳු මුදුනෙහි මේ වන විට නාවික හමුදාවට අයත් රේඩාර් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත .

අප හිතවත් පුජ්‍ය කැප්පෙටියාවේ අරණවිහාරී ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයෙහි භාරකාරත්වය දරමින් අන්තවාදී බලවේගයන්ගේ නොයෙක් කෙනෙහිලි කම් මැද මෙම ඓතිහාසික උරුමය රැක ගැනීම සඳහා මහත් වූ වෙහෙසක් ගනු ලබයි.
වසර ගණනාවකට පෙර අප පළමු වරට එම ස්ථානයට පැමිණෙන විට උන්වහන්සේ එහි පසුකාලීනව ඉදිකර තිබූ ගරාවැටුණු පැරණි තානායම් ගොඩනැගිල්ලේ කොටසක් පිළිසකර කර වැඩ වාසය කළ අතර එකල ස්වාමීන්වහන්සේගේ තනියට එහි සිටියේ රංචු පිටින් ලැගසිටි වවුලන් පමණි .
සමුද්‍රය ආසන්නයේ ඇති කඳුගැටයේ පිහිටි රේඩාර් මධ්‍යස්ථානයෙහි සිටි නාවික හමුදා සෙබළුන් ට පින්සිදුවන්නට එකල උන්වහන්සේ ගේ බොහෝ අවශ්‍යතා පිරිමැසිනි.

අද වන විට උන්වහන්සේ ගේ නොපසුබට උත්සාහය මත අමරපුර ශ්‍රී සද්ධම්ම මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අහුංගල්ලේ සිරි සිලවිශුද්ධි ස්වාමින්වහන්සේගේ නායකත්වය සහ මගපෙන්වීමෙන් බෞද්ධ සැදැහැවතුන්ගේ ආධාරයෙන්.අභිනව චෛත්‍යක් සහ බෝධි ඝරයක් සකස් කර මෙම ඓතිහාසික ස්ථානය ට නව ජීවයක් ලබා දී ඇති අතර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මුදලින් සංඝාවාසයක් ඉදිකර තිබේ.මේ සියලු ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ නාවික හමුදාව ශ්‍රම දායකත්වය සපයනු ලබයි.
වල ගොඩැලින් පිරි පටු මංපෙත දිගේ රථය යලි ගමන් අරඹයි.

මෑත අතීතයේ මේ වන මං පෙත් මුලින්ම හෙළි පෙහෙළි කරන ලද්දේ ඉංග්‍රීසි ආණ්ඩු සමයේ මැනීම් කටයුතු වල නිරත වූ මිනින්දෝරුවන් විසිනි.අනතුරු ව දැව ජාවාරම්කරුවන්ගේ නිදන් හොරුන් ගේ හා දඩයක්කරුවන්ගේ ආගමනයෙන් කරත්ත පාරවල් වල සිට කුඹුරු සහ අනවසර ගොවි තැන හේතුවෙන් ටැක්ටරයක ට හෝ උස් වූ රථයකට යා හැකි මංපෙත් ලෙසට මේවා පරිවර්තනය වී ඇත.

අලි මුව ගෝන වලස් ඌරු ගොන් මොනර පා කුර පහස ලබන අප යන මග හරහා ඉඳ හිට අලින් විසින් කඩා දමන ලද අතු රිකිලි දක්නට ලැබෙයි. එය දකිද්දී බියකට වඩා කුතුහලය මුසු උද්දාමයකින් හද රිද්මය ඉක්මන් වෙයි.
දෙපස ඇති වනපෙත වැසි පොදක් නොමැති නියං සමයට හසුව ගිනියම් හිරු කිරණින් දැවෙමින් පවතී .
දැඩි හිරු රැස් හමුවේ උස් තුරු මතින් බිමට බසින මොනරු සෙවනැති තැන්හි ගිමන් හරිති.

රථය පැමණි දුෂ්කර ගමන කඳුගැටයක් ආසන්නයේ වූ එලිමහන් බිම් කඩකින් අවසන් වෙයි.

ටකරන් සෙවිනි කර සාදන ලද සාමාන්‍ය ප්‍රමාණයේ මඩුවක් සහ ඊට මදක් දුරින් සිමෙන්තියෙන් සාදා උලු සෙවෙනි කර ඇති කුඩා ගොඩනැගිල්ලක් කන්ද පාමුලම දක්නට ලැබෙයි.

මහ වන මැද මිනිස් පහසක් .

“ඔය ටකරං මඩුවෙ තමයි හමුදාවෙ අය නතරවෙලා ඉන්නෙ ඊට එහායින් තියෙන්නෙ මගෙ කුටිය”
රථයෙන් බට ස්වාමීන්වහන්සේ දුෂ්කර පා ගමනට සර්ලන ලෙසට සිවුර සරිකර ගනිති.
මිනිස් පහසින් දුරස් මහ වණ මැද කොහෙන්දෝ හොයාගත් දඬු කඳන් කිහිපයක් මත අපිළිවෙලට සැකසූ මඩුවක හිරු රැසින් ගිනිගහන ටකරං වහලයක සෙවන යට සිටින ජාතියේ මුර දේවතාවුන් බඳු වීරෝදාර යුද්ධ හමුදා සෙබළුන් කිහිප දෙනෙක් සහ ඊට මදක් එපිටින් සාදා ඇති කුඩා කුටිය නිතර වාසස්ථානය කර ගන්නා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් විසින් චිරාත් කාලයක් තිස්සේ පරසතුරු ආක්‍රමණයන්ගෙන් සහ අසිංහල අබෞද්ධ අන්තවාදී බලවේගයන්ගෙන් මෙන්ම නිධන් සොයන අපේම පාපතරයන් ගෙන් ඉතා වටිනා ඓතිහාසික උරුමයක් රැක ඉතිරි ඉදිරි පරපුරට සරි කර දීමට ගන්නා උත්සාහය සියැසින් බලා අවබෝධ කරගතයුතු දෙයක මිස කිසිදා කියා වටහා දිය නොහැක්කකි.
ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු විය යුතු සැබෑ විරුවන් මොවුන්ය .

අප මේ පැමිණි ඓතිහාසික පුද බිම හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සම්බන්ධයෙන් පුරාවිද්‍යා පර්යේෂණ ශූරී පුරා විද්‍යා චක්‍රවර්ති පූජ්‍ය
එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත පාචීන පස්ස උත්තර පස්ස නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය ග්‍රන්ථයේ උන්වහන්සේ මෙසේ සඳහන් කරයි.

සෙම්බු මලේ නටබුන්

ශාක්‍ය ආර්යයන් ගෙන් කෙනෙකු වූ රාම ගෝන කුමරු විසින් පිහිටුවන ලද ගෝනා ගාම නුවර ඉපැරණි සිංහල ජනපදයකි.පසු යුගයක ත්‍රිකුණාමලය වූයේ මේ නාමය මෙන්ම එම ප්‍රදේශයයි. සිංහල බලයත් බුදු දහමත් ඉතා හොඳින් බැබළුණු තෙල පෙදෙස මෑත යුගවල විවිධ පරසතුරු උවදුරු නිසා වනයට බිලි වෙමින් සුළු සුළු ගම්මාන ඇති පෙදෙසක් බවට පත්වූයේය. ත්‍රීකුණාමල දිසාවට අයත් ප්‍රදේශය තුළ ඇති නොයෙක් යුග වලට වැටෙන විවිධ වර්ග වලට අයත් බෞද්ධ ආරාමික නස්ඨාවශේෂයන් ගැන සලකන විට අප මවිත වන සුළුය. මෙම ස්ථාන අද ඉතාමත්ම ම අභාග්‍ය සම්පන්න තත්වයකට පත්ව තිබේ සිය ගණන් වූ මෙහි ආරාමවලින් අද භික්ෂූන් බැහැර ගොස් ඇත. පාළුවට ගිය ආරාම අද වනයට බිලි වී ඇති අතර අසිංහල ත්‍රස්තයන්ගේ ගුහා බවට පත් වී තිබේ. දැනට භික්ෂූන් සිටින්නේ විල්ගම්වෙහෙර හා සේරුවිල පමණකි.
ත්‍රිකුණාමල දිශාවේ සිංහල සිංහල බෞද්ධ බලය විනාශ කිරීම කලක සිට කරගෙන ආවකි. 1960 ගණන්වල ද එහි සියුම් ලෙස බෞද්ධ ස්ථාන විනාශ කිරීමේ සලකුණු තිබිණි. ඒ වකවානුවේ පැරණි ගෝකන්න විහාරය (කෝනේශ්වරම) බැලීමට පිරිසක් සමග ගිය අපට සෑහෙන තර්ජන එල්ල විය. සිංහල බෞද්ධ ආරාමයක් වූ වූ ගෝකන්න විහාරය ශිව දේවාලයක් බවට පත් කරගෙන ඇත. ත්‍රිකුණාමලයේ සිට උතුරට විහිදෙන වෙරළට සමාන්තරව මහා මගින් යන්නෙකුට ස්ථාන කීපයකම තවමත් ශේෂ වී ඇති බෞද්ධ ආරාම සංකීර්ණයන් බලා ගත හැකිය. මෙහි විස්තර කර ඇති කුච්චවේලිය මින් එකකි. මේ ආශ්‍රිත නෂ්ටාවශේෂයන් අටුවා ග්‍රන්ථ වල සඳහන් වන කණීකාර වෙල්ලික සමුද්ද විහාරය හැටියට සැලකෙන සාධක හමු වී තිබේ. මේ ආරාමයේ කොටස් ඉතා දිගට පැතිරී තිබෙන්නට ඇත. සෙම්බු මලේ නමින් අද හැඳින්වෙන ස්ථානය ද මෙයට අයත්ව තිබෙන්නට ඇත . (උපුටාගැනීම අවසන්).

කෙසේ වූවද යුධ ජයග්‍රහණයෙන් පසු උන්වහන්සේ මෙහි පවසා ඇති වෙල්ගම් වෙහෙර සහ සේරුවිලට අමතරව බොහෝ බෞද්ධ ආගමික ස්ථානයන් යුධ හා නාවික හමුදා ආරක්ෂාව මත අප මහා සංඝරත්නය විසින් නොයෙක් බාධක මධ්‍යයේ. වැඩ වාසය කරමින් රැකබලාගැනීම අස්වැසිල්ලට කරුණකි.

කුඩා හමුදා මුරපොලට මදක් දුරින් රථය නවතා ඔවුන් වෙත වැඩම කරන අප ස්වාමින් වහන්සේ සෙබලුන් විසින් පිළිගනු ලබන්නේ මහත් බැතියෙනි.

අප පැමිණෙන විට උන්වහන්සේගේ දැකුම් පිණිස රැගෙන ආ මල්වානේ පැණි රඹුටන් ගෙඩි දෙතුන්සියයක මල්ලක් හාමුදුරුවන්ගේ සුරතින් තමන් සමග උරුමය සුරකින හිතාදර සහෘදයින්ගේ කොටස ලෙසට මුරපොලේ පසෙක තැම්පත් වෙයි.
දවස දවාලන හිරු පමා වෙන්නට කල් නොමැතිබව අපට පවසයි.

ස්වාමීන්වහන්සේගේ විහරණය සඳහා ඇති කුටිය අසලින් ඉහලට විහිදී යන තැන් තැන්හි ගල්පඩි ශේෂව පවතින පටු දුෂ්කර මගක් අප ඉදිරියේ කෙමෙන් දිගහැරේ.

තුරු සෙවනේ ලැග සිටින සියොතුන් අප දැක නද දී එකවර අහසට ඉගිල යයි.
මද දුරක් ගියකල ක්‍රමයෙන් උස්ව විහිදී යන හිරු රැසින් දැවී දිදුලන සුවිසල් ගල් තලාවක් ඇස් මානයේ විහිදේ .

මුළු ගල් තලාව පුරාවටම තැනින් තැන ව්නාශ වී ගිය කලුගලින් කරන ලද නිර්මාණ සහ ගඩොල් කැබලි දක්නට ලැබෙයි. ඊට අමතරව මගදිගට පෙනෙන්නට ඇති කඳවුරු ආරක්ෂාව පිණිස භාවිතා කරනු ලබන කටු කම්බි බාධක පසුගිය යුද්ධ සමයේදි මෙහි තිබූ ත්‍රස්තවාදී කඳවුරක සළකුණු පවසයි.
මද දුරක් නැගි කල පසෙක ඉතා වැදගත් ස්ථානයක් දක්නට ලැබෙයි. ඒ ඉපැරණි ගල් වඩුවන්ගේ ශිල්පීය දක්ෂතාවය කියාපානු ලබන ගල් වැඩපලකි. අඩක් වැඩ නිමකර ඇති ශෛලමය නිමැවුම් තැන් තැන්හි විසිර පවතින අතර ඒවා සඳහා ක්‍රමානුකූලව සිදුරුකර ගල් පළු වෙන් කර ඇති ආකාරය විශ්මය ජනකය.
ගල් තලාව මුදුනට ගියකල දක්නට ඇත්තේ ගරා වැටුන චෛත්‍යකි.

ස්වාමීන් වහන්සේගේ අවසරය මත මදක් අසීරුවෙන් අපි එහි මුදුනට නැගුනෙමු. පාපතර නිදන් හොරුන් විසින් දාගැබෙහි පතුල දක්වාම වලක් හාරා එය විනාශ කර දමා ඇත.
දාගැබට නුදුරින් මෑතකදී සාදා ඇති හුණු පිරියම් කෙරූ ගොඩනැගිල්ලකි.
චිරාත් කාලයක් මුළුල්ලේ උතුරේත් නැගෙනහිරත් බෞද්ධ උරුමය විනාශ කරන්නට අන්තවාදී පිරිස් කරගන එනු ලබන සංවිධානාත්මක ක්‍රියාවලියක තතු කියාපාන මෙය මේ වනවිට දේව පිළිම කිහිපයකින් සමන්විත කෝවිලකි.

ස්වාමීන් වහන්සේ ඒ තුලට අප රැගෙන යයි.
” මේ කෝවිල සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නෙ චෛත්‍යයේ ගඩොල් වලින් සෑම මාසෙ පෝය දවසකම කිසියම් පිරිසක් ඇවිත් මෙතනට පුද පූජා පවත්තලා යනවා. ලඟදි සිරිපතුල් ගලක් මේ දේවාලෙ ඇතුලට අරන් ගිහිල්ලා ඒක වටේටම බදාම ගහලා වහලා ඒ උඩින් කාන්තා දේවරූපයක් තියලා තිබුනා. මම මේ ගැන පුරා විද්‍යා එකට කිව්වට ඒ අය ඒක ගනන් ගත්තෙ නෑ. පස්සෙ පොලිසියට පැමිණිලි කලහම කුච්චවේලි ඕ අයි සී මහත්තයා ඒ පිරිස පොලිසියට ගෙන්නලා කරුණු පැහැදිලි කලා.

එතකොට ඒ අය වරද පිලිඅරගන සිරිපතුල තිබුන විදිහට තැම්පත් කලා. ඔය ඉස්සරහ තියන මල් ආසනේ තමයි බදාම අනලා තියෙන්නෙ ”
බදාම අනා ඇති මල් ආසනය තැනින් තැන කඩතොලුව පවතී.

මෙම ස්ථානය ඓතිහාසික හින්දු පුදබිමක් බවට හඟවනු ලබන කිසිඳු සලකුණක් දක්නට නොමැති අතර හින්දු භක්තිකයන්ද මේ ආසන්නයේ නොමැත.

එබැවින් මෙය අහිංසක ද්‍රවිඩ ජනතාවගේ උවමනාව මත නොව කිසියම් අන්තවාදී සංවිධානාත්මක පිරිසකගේ අන්තනෝමතික ක්‍රියාවලියක ප්‍රථිපලයක් මත ඉදිවූවක් බව ප්‍රත්‍යක්ෂ කරුණකි.

කෝවිල ඉදිරිපිට ඇති පොකුණෙ මෙවන් නියං සමයක වුව ජලයෙන් පිරී පවතී. වසර සිය ගණනකට එපිට මෙහි බවුන් වැඩූ යතිවරයන්ගේ පැන් පහස නිවූ මෙය වටා අද වන සතුන්ගේ වසුරු තැන් තැන්හි විසිරී පවතී.

මෙය මෙන්ම මෙය වටා ඇති තවත් පොකුණු කිහිපයක් මෙදා වනසතුන්ගේ සා පිපාසාව නිවනට මහත් මෙහෙයක් ඉටු කරයි.
මදක් එපිටින් විශාල ගොඩනැගිල්ලක නටඹුන් දක්නට ලැබෙයි. ඒ වටා ඇති තවත් ගොඩනැගිලි කිහිපයක නටඹුන් අතර බුද්ධ මන්දිරයක අවශේෂයන් ඉතිරිව පවතී.
මෙහි තිබූ ගලින් නිර්මිත ප්‍රථිමා වහන්සේ කුළු ගසා කඩා විනාශකර එහි කොටස් මෙම ස්ථානයෙන්ද ඉවත්කර දමා ඇති බව ස්වාමීන්වහන්සේ පවසයි.

දෑසට පෙනෙන මානය දක්වා විහිදී පවතින මනරම් දසුන දෙසට උන්වහන්සේ අපගේ අව්ධානය යොමු කරවයි.

” මහත්තයෝ ඔය වටේටම තියෙන්නෙ අපේ ඓතිහාසික පුදබිම් අර නැගෙනහිරින් තියෙන්නෙ බඹරගල ආරණ්‍ය සේනාසනය. උතුරින් දෙබරගල ආරණ්‍ය සේනාසනය බටහිරින් මසන්වැව චෛත්‍ය ඊසානින් තිරියායයි රංගිරි උල්පත කියන පූජනීය ස්ථානයයි. මම මෙතනට වැඩම කලේ 2016 දී මුලින්ම 1978 දී අතිපූජ්‍ය අහුන්ගල්ලේ සීලවිසුද්ධි හාමුදුරුවෝ මේ පුණ්‍ය භූමියට වැඩම කරලා කලින් කිනිහිරියා කන්ද කියලා නම් කරලා තිබුණු මෙම ස්ථානය සෙම්බුමලේ කියලා හඳුනගන මේක ආරක්ෂා කරන්නට ක්‍රියා කරලා තියෙනවා . මෙතන වගේම කුච්ච්වේලි විහාරස්ථානය ඇතුළු කැළයෙන් වැහිලා තිබුන පෞරාණික පූජනීය ස්ථාන රාශියක් හඳුනාගන ඒවා රැක ගන්න උන්වහන්සේ අද දක්වාම ක්‍රියා කරනවා .1979 ඉදන් ඉඳන් 94 වෙනකන් මෙතන පුරාවිද්‍යා වැඩබිමක් තිබිලා තියෙනවා. ඒ කාලේ කැණීම් කරලා මෙම ස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කරන්නට උත්සාහ කළත්.යුද්දෙ නිසා ඒ සියල්ල නැවතිලා තියෙනවා. මේ යටවෙලා තියන දේවල් මතුකරගන අනාගත පරපුරට උරුම කරලා දෙනතුරු අපි කොහොමහරි මේවා ආරක්ෂා කරගන්න ඕනෑ”.

ඒ උන්වහන්සේගේ පමනක් නොව ප්‍රෞඩ ජාතියක ඓතිහාසික උරුමය රැක ඉතිරිකර අනාගත පරපුරට උරුමකර දීමට දිවි හිමියෙන් ඇප කැපව සිටින සියලු යතිවරයානන් වහන්සේලාගේ හඬයි.
නොයෙක් වගකිවයුතු ආයතන මේ සම්භන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරද්දී උන්වහන්සේලාට යෝධ ශක්තියක්ව සිටින උතුරු නැගෙනහිර රාජකාරි කරනු ලබන සන්නද්ධ හමුදා සාමාජිකයන්ටද ජාතියේ උපහාරය හිමිවිය යුතුයි.
කාලය කෙමෙන් ගෙවී යයි.
දහවල තැවූ ප්‍රචන්ඩ හිරු කෙමෙන් මලානිකව බටහිර අහසේ ක්ෂිතිජයට ලංවෙයි.

පාළු නිසසල වන අරණේ නිහඬ බව බිඳින්නට රැහැයියා අඳුරු අසුමුළු වල සිට සිය නොනවතින සත්සර හඬ අරඹයි.
වනයේ හිමිකරුවන් එලිබසින හෝරාව ලංවෙයි.
කැලය දෙවනත් කරන රාගනීශ්‍රිත ඇතෙකුගේ කුංචනාදය ගොම්මනට පෙර ආපසු ගමන නිමකරන්නට අපගේ පය ඉක්මන් කරවයි.

මිනිස් පහසින් දුරස්ව මහ වන මැද සැඟවී කෙමෙන් ව්නාශවෙමින් පවතින මෙවන් පෞරාණික ස්ථාන රැසක්ම උතුරු නැගෙනහිර පුරාවටම විසිරී පවතී.එකවර මේ සියල්ල හෙලි පෙහෙලි කර සීමා මායිම් සකසා රැක බලාගැනීම එතරම් පහසු කාර්‍යයක් නොවන බව සත්‍යකි.
එයට බොහෝ බාධක මතුවනු ඇත.
නමුත් මේ කෙමෙන් වැනසී යන්නේ ජාතියක ප්‍රෞඩත්වය කියාපානු ලබන බොහෝ කාලයක සිට පැවත එනු ලබන අපේ උරුමයයි.

එය අනාගත පරපුර උදෙසා රැක ආරක්ෂා කර දීම වර්ථමාන පරපුරෙහි යුතුකම මෙන්ම වගකීමයි.

මහේන්ද්‍ර විජේසූරිය.



72 Viewers