• Home »
  • Articles »
  • මේ ගෝඨාභය බලයට පත්කරන්න ඔසවපු ඇඟිල්ල ද ?

මේ ගෝඨාභය බලයට පත්කරන්න ඔසවපු ඇඟිල්ල ද ?

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ඉදිරියේ දඬුවම් ලැබී තිබේ. දඩුවම් ලැබූ වරදකරුවන් අතරින් බන්ධනාගාරයට යන වරදකරුවකුගේ කරළියට ආ හස්ත මුද්‍රාවක ඡායාරූපය මිනිසුන්ට හිතන්නට යමක් ඉතිරි කර ඇත.

වසර හතකට පසු නැවත මේ එසවී ඇත්තේ එදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රතිඥාව සහ ඔවුන් නිකුත් කළ හස්ත මුද්‍රාවයි. මේ දෙකම එක සමාන නම් ඔවුන් දෙන පණිවුඩය කුමක් ද ?

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් නොනැවතී යම් අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක ත්‍රස්ත බලවේගයක් මේ පිටුපස සිටින බවට වු සංඥාවක් මෙන්ම ඉඟියක් එමගින් සමාජයට නිකුත් වෙයි. එම පණිවුඩය ගන්නා පිරිසක් සිටිත්දැයි සොයා බලා සමාජය සුරක්ෂිත කිරීමේ වගකීමක් එද ත් අද ත් මේ රටේ පාලක පක්ෂවලට තිබුණා දැයි සැක සහිතය.

ඒ සැක සහිත ඉඩ ප්‍රස්ථාව ත්‍රස්තවාදයට ලබා දෙන උල්පන්දමකි. රටට ආදරය කරන ජනතාව මේ පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුය. එසේ නොවුනහොත් සිදුවන්නේ කුමක්දැයි අප දැන ගන්නේ අවාසනාවන්ත සිදුවීමකින් පසුව වන්නට පුළුවනි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් අවුරුදු තිහකට අධික කාලයක් බැට කෑ රටක් ත්‍රස්තවාදයෙන් පාඩම් ඉගැනීමක් නොමැතිව ඉදිරියට යත්නම් එය මුළු මහත් ජාතියේම අවාසනාවකි.
අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය ලංකාව පැමිණෙමින් ඇති බව පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර සාක්ෂි සහිතව ජාතික පුවත්පත් සහ පාර්ලිමේන්තුවේ දී ද එදා හෙළි උව ද, දේශපාලන වාසිය මිස සැබෑ අනතුර පිළිබඳව ආණ්ඩු දෑස් දැල්ලුවේ නැත. එහි අවාසනාවන්ත තත්ත්වය නම් තොරතුරු ලැබී තිබිය දී ත් මිනිසුන් ආරක්ෂා කර ගැනීමට ක්‍රමවේදයක් නොමැතිව ජීවිත සිය ගණනක් විනාශ වීමයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු බොහෝ දෙනෙක් සහරාන් කල්ලියේ අන්තවාදය පිළිබඳ සාකච්ඡාව අමතක කොට එහි දේශපාලන බලපෑම ජනගත කිරීමට පෙළැඹිනි.එය ද හිතා මතා සිදුවූවකි. ඉන් සිදුවූයේ සැබෑ අනතුර යටපත් වීමයි. අන්තවාදීන්ට එල්ලවන චෝදනාව වැළැක්වීමට ඔවුන් විවිධ මත සමාජය තුළ පළ කළේය. ඊට වැඩි අවකාශයක් නතු වන්නේ ඔවුන් ඒ සඳහා යොදන මිල අනුවය.

සහරාන් ඇතුළු ත්‍රස්ත නඩයක් මරාගෙන මැරුනේ ගෝඨාභය රාජපක්ෂ ජනපති කරන්නයැයි සමාජගත කළ ප්‍රකාශ මෙන්ම, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේශ් සලේ එහි මහ මොළකරු යැයි සමාජගත කළ කාරණාව ද එවැන්නක් යැයි ඇතමෙක්ට චෝදනා මුඛයෙන් බැලිය හැකිය.

ජනපති වෙන්න එවැනි ක්‍රමයක් භාවිතා කළ පුද්ගලයෙක්ට ජනපති ධුරය රැක ගැනීමට හැම බලතලයක්ම තිබිය දී එවැනි කෙටි ක්‍රමයක් භාවිතා කරන්නට නොහැකි උනාදැයි පෙරළා ප්‍රශ්න කරන්නන් සමාජයේ සීමිත බව සැබෑ මහ මොළකරුවෝ දනිති.

ඒ කෙසේ වෙතත් ආගම්වාදය තුළ අති භයානක ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වීම සමාජය බියෙන් තැති ගන්වන්නකි. එහි අඳුරු ප්‍රතිඵල ලැබෙමින් තිබෙනුයේ බහුතර සිංහල බෞද්ධයන්ටය. බෞද්ධ සමාජය තුළ මහා සංඝරත්නයට ඇති ප්‍රසාදය පහළ මට්ටමකට ගෙන ඒමත්, ආගම හැඟීමක් නොවන තැනකට තල්ලු කිරීමත් ඇතැම්විට මෙම සමාජයේ සිටින බෞද්ධයන් මුහුණ පා ඇති අවදානමක් බව ඔවුන්ටම නොවැටහීම ඉන් ප්‍රධානය.

මෙවැනි තත්ත්වයක් සැමවිටම නිර්මාණය වන්නේ දේශපාලන උවමනාවන් මතය. ශ්‍රී ලංකාවේ භූ පිහිටිම අනුවම භූ දේශපාලන මෙවලමකි. ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් උවත් මෙහි දේශපාලන ආර්ථික ස්ථාවරත්වයක් ඇති උවහොත් එහි බලපෑම සුළු පටු නොවන බව උපකල්පනය වීම එහි ඇති රහසයි.

ඒ නිසා මත් ද්‍රව්‍ය තිප්පොලක් බවටත් ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවටත් මේ කුඩා දිවයින පත් කිරීමේ අරමුණ කාගේ ද ? අද වනවිට මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කණ්ඩායම් වල මුල් පුරුක් සියල්ල ඉස්ලාම් අන්තවාදයට සමීප බව ආරක්ෂ අංශවලට වැටහීමක් තිබේ. එම නිෂ්පාදනයන් ඔවුන්ගේය.

මෙරට දේශපාලඥයන් කලින් කලට මතට තිත ව්‍යාපෘති හඳුන්වා දුන්නද අද පාලනය කළ නොහැකි මට්ටමේ මත් ද්‍රව්‍ය ජාලයක් පාතාලය ලෙස ක්‍රියාත්මක වන්නේ ද මේ නිසාය. අඩු වැඩි වශයෙන් කණ්ඩායම් කලින් වශයෙන් දේශපාලනය මොවුන්ගේ අනුග්‍රාකහයන් බවට පත්වන්නේ නිරායාසයෙනි. ඊට හේතුවන්නේ බලය ලබාගත් පසු සියලුදෙනා බලය රැක ගැනීමට වෙහෙස මහන්සි වීමයි.

බෞද්ධ ආගම කිසි විටෙකත් බලය ලබා ගැනීමේ මෙවලක් නොවිය යුතුවාක් මෙන්ම ඉස්ලාම් හා හින්දු ආගම්වලට ද එම රීතිය වලංගු විය යුතුය. ජාතීන් වශයෙන් ගත් කල ද එලෙසය. සිංහල මෙන්ම හින්දු හෝ මුස්ලිම් සඳහා ද භාවිතාවේ වෙනසක් සිදු නොවිය යුතුය. 2009 මැයි 18 දා සිට ඒකීය රටක් බවට පත්වු රටකට තවත් බෙදීම් සීමා අවශ්‍ය ද ?

එහෙත් අදවනවිට සිදුවන්නේ බලයට පත්වන පාලකයන් දකුණේ ජනතාවට එක් පොරොන්දුවකුත්, උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවට සහ පොදුවේ මුස්ලිම් ජනතාවටත් වෙන වෙනම පොරොන්දුත් දී ඒ පොරොන්දු රැක ගැනීමට ජාතියේ අනාගතය පාවා දීමයි. ඇත්ත කතාව නම් මනාප රැකගෙන ඡන්ද දිනීමේ උවමනාවට සැබෑව යටපත් කිරීමයි.

ගෝඨාභය රාජපක්ෂ එදා කොවිඩ් අර්බුධය හමුවේ අභය දානය දුන් ජනතාව ඔහුට විරුද්ධවන අරගලයකට සහ සම්බන්ධ වූයේ අන්ත දූෂණය නිසාම නොවේ. කිසියම් හෝ රහසිගත න්‍යාය පත්‍රයකින් ඔබ්බට ගියහොත් තමන්ට අවාසියක් වෙතැයි බියවන පිරිස මුලින්ම ඊට ප්‍රතිරෝධයක් එල්ල කරති.

ගෝඨාභයගේ බෞද්ධ බලවේගය පරාජය කරමින් හොරු හිරේ දාන්න පැමිණි ආණ්ඩුව දැන් කරන්නේ නිරාගමික හෝ චීන ක්‍රමයකට රට පාලනය ගෙන යාමේ ආනාගත අපේක්ෂාවක් වෙනුවෙන් ගමන් කිරීමයි. ඒ ක්‍රමය තුළ ගමන් කරනවා යැයි නොකිවුව ද ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා තමන් රට තුළ වෙනසක් ඇති කරන්නට යන්නේ ජීවිත අවදානමක් ද ඇතිව බව කියා සිටියේය.

ඒ කෙසේ වෙතත් අනුරාධපුරයෙන් ඉහළට නාගදීපය වඳින්න බෞද්ධයන් යන්නේ ජාතිවාදය අරගෙනයැයි කීම හෝ රට රැක ගැනීමට ජාති ආගම් භේද නොමැතිව සටන් කළ රණවිරුවන් සොල්දාදුවන් කිරීම වැනි දෑ බහුතර ජනතාව වෙනුවෙන් ද? එසේ නොමැතිනම් ජනප්‍රියත්වය රඳවා ගැනීමේ යටි අරමුණ වෙනුවෙන් ද යන්න ගැන දන්නේ එහි හිමිකරුවන්මය. එල්.ටී.ටී.ඊ ත්‍රස්ත නායකයන්ගේ පිළිරු හදා මල්දම් දාන තත්ත්වයකට උතුර පත්ව ඇත්තේ මේ නිසාය.

මෙහි ඇති වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ නම් ත්‍රස්තවාදීන් එහි වාසිය මෙන්ම වාඩුව ගැනීමට ද බලා සිටින බවයි. යහපාලන ආණ්ඩුව තුළින් යහපාලනයක් සිදුවෙතැයි නිශ්චය කළ ද අවසානයේ ආරක්ෂක කවුන්සිලය නිසියාකාරව රැස්නොවන තැනට එදා ජනපති මෛත්‍රිපාල සිරිසේන කළ පාලනය අවසන් වූයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකිනි.

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ කොවිඩ් ඇතුළු අර්බුධවලට මුහුණ දුන් බව සැබෑවක් උවද එම පාලන කාලය තුළ ජනතා අපේක්ෂාවන් ඔහු වටා තීරණ ගැනීමට පැමිණි කල්ලියේ අඳ බාල වැඩ නිසා දියාරු විය. අරගලයෙන් එම පාලනය නිමා වූ යේ ඔහු ම ජනපති කාර්යාලය අසල තනා දුන් විරෝධතා දැක්වීමේ ස්ථානයේ ද උදව් ඇතිවය.

හොරු හොරු යැයි කීවද හොරු ඇල්ලුව ද හොරුන්ගෙන් අයකරගන්නා බව කියු අති විශාල ධනස් කන්දයක් ඇති බවට මේ ආණ්ඩුව කී බොරු ද දැන් අතේ පත්තුවෙමින් තිබේ. හොරු නිසා වැනසුනු ආණ්ඩුවකට පසු දැන් ලැබී ඇත්තේ බොරු නිසා වැනසෙන ආණ්ඩුවක් දැයි ප්‍රශ්න කරන තැනකට අද ඇතැම් සිදුවීම් සමාජයේ උඩු දුවා තිබේ.

තමන්ට නැති කරදරයක් වෙන අයෙකුට තිබුණම මොකද යැයි සිතා ඇස් කන් පියා සිටීමෙන් දිනක ගෙමිදුලට පමණක් නොව සමාජයේ උඩු දුවන එම ප්‍රශ්නය ගෙතුළටම එන දිනය වැඩි ඈතක නොවන්නට පුළුවන. ඒ නිසා තමන් දරණ දේශපාලනයෙන් අන්ධ නොවී අන්තවාදය සහ ඊට සමීප ත්‍රස්තවාදයට ඉඩ නොතැබීමත්, රටට එරෙහි සැබෑ හතුරන් සහ රටට හිතැති සැබෑ මිතුරන් හඳුනාගැනීමත් ජනතාව සතු වගකීමකි.

ඇතැම්විට හත් වසරකට පසු මෙම හස්ත සංඥාවෙන් ඔවුන් කියන්නේ තවම මෙහෙයුම අවසන් නොමැති බව වන්නට පුළුවන.

ජෝර්ජ් බර්නාඩ් ෂෝ මිනිස් පක්ෂග්‍රාහීත්වය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, යමක් විශ්වාස කිරීමට අපට අවශ්‍ය වූ මොහොතේම ඊට පක්ෂව ඇති සියලු තර්ක අපට පෙනෙන අතර, ඊට විරුද්ධ තර්ක නොපෙනී යන බවයි.

අද ඔබව බොරුවෙන් රවටා ඇත්තේ ද එලෙස දැයි කියන්නට දන්නේ නැත.



6 Viewers