• Home »
  • News »
  • මඩකලපුව දිවුලපතාන ගොවි ඉඩම් ගැටළුව

මඩකලපුව දිවුලපතාන ගොවි ඉඩම් ගැටළුව

අද 23 දින පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද කතාවේදී මඩකලපුව දිවුලපතාන ගොවි ඉඩම් ගැටළුව පිළිබඳව කරුණු මතු කොට ඇති අතර එහිදී මාගේ නම සඳහන් කොට යම් ප්‍රකාශයන් හා චෝදනවන් කිහිපයක් සිදුකොට ඇති නිසා ඊට පිළිතුරු ලබාදීමට මෙසේ කටයුතු කරමි.

* සිංහල දෙමළ ජනතාව අතර ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමේ උවමනාව සහිතව දේශපාලනිකව ක්‍රියාකරන බව.
* ගොවීන්ට මාසිකව වගා කිරීමට රු.10000 බැගින් ගෙවන බව සහ සිදුකරන වගාවක් නොමැති බව.

සහ මෙම ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සාවද්‍ය කරුණු රාශියක් ප්‍රකාශ කරන ලදී.

* ගරු ජනාධිපතිතුමාගේ නියෝග උපදෙස් නිලධාරීන් ක්‍රියාත්මක නොකරන බව.
* නිලධාරීන් මෙම ගැටලුව පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව.
* ගොවි ජනතාව නීතිවිරෝධීව අදාල ඉඩම්වල වගා කටයුතු සිදුකරන බව.
* කිරි හරක් ඝාතනය කිරීමට කටයුතු කරන බව.

ඉහත සියළු ක්‍රියාවන් පසුපස මා ඇතුළු පිරිසක් සිටින බවට එහිදී මන්ත්‍රීවරයා බරපතල චෝදනාවක් සිදුකරන ලදී.

එම අවස්ථාවේදී ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ලාල්කාන්ත මහතා ඉහත රාසමානික්කම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ සියළු කරුණු සත්‍ය බවත් ඉහත ගොවි ඉඩම් ගැටළුව පිළිබඳ අවසන් තීරණයක් හෙට දින පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 8 දී පවත්වන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ලබාදෙන බවටත් ප්‍රකාශ කළා. එයට මහවැලි නිලධාරීන් ආණ්ඩුවේ දේශපාලන නායකයින් සහ රාසමානික්කම් මන්ත්‍රීවරයාගේ පාර්ශවය සහභාහී වීමට නියමිත අතර අදාල ගැටළුවට සෘජුව මුහුණදෙමින් එහි වින්දිත පාර්ශවය වන මෙම ගැටළුව නිසා දශක ගණනාවක් පීඩා විදින දිවුලපතාන ගොවි සංවිධාන කිසිවක් සහභාහී කොට නොගැනීම ප්‍රශ්නාර්ථයක් වී ඇත. එවැනි රැස්වීමක ප්‍රථිපලය කුමක් විය හැකිද?

ප්‍රථමයෙන් රාසමානික්කම් මන්ත්‍රීවරයා එල්ලකල චෝදනාවන්ගෙන් සමහර කරුණු මම ප්‍රතික්ෂේප කරමි. එදා තිස් අවුරුදු යුධ කාලසීමාව තුල මායිම් ගම්මාන ලෙස පැවති දිවුලපතාන ගම්මානයේ ජීවත් වූ යුද්ධය හේතුවෙන් විවිධ අවස්ථාවල අවතැන්වූ රටේ විවිධ ප්‍රදේශ වලට විසිරී ගිය එහි මුල් පදිංචිකරුවන් වන මෙම සිංහල ජනතාව මුහුණදෙන මෙම ඉඩම් ගැටළුවට අදාල නීතිමය කටයුතු වෙනුවෙන් සහ නැගෙනහිර සිංහල ජනතාව රැක ගැනීමට මාගෙන් ඉටු විය යුතු ඓතිහාසික කාර්‍යභාරය මා විසින් ඉටු කරන බව මෙහිදී ප්‍රකාශ කරමි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පාරම්පරික ගොවි ජනතාවහේ ඉඩම් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර අත්පත් කරගත් මහවැලි අධිකාරියට එරෙහිව අධිකරණ තුල නීත්‍යානුකූලව විවිධ ජයග්‍රහණ ලබාගෙන ඇති අතර එම අධිකරණ නියෝග පවා විවිධ බලපෑම් මත ක්‍රියාත්මක නොවන බව පෙනෙන්නට ඇත.

එසේ අධිකරණ නියෝග ලබාගැනීමට හැකිවූයේද මෙම සිංහල ගොවීන් පාරම්පරිකව එම මතභේදාත්මක භූමියේ වගා කටයුතුවල යෙදුණු සහ අදාල ප්‍රදේශයේ පදිංචිව බවට ලිපි ලේඛන සාක්ෂි ඇති හෙයිනි. පසුකාලීනව දෙමළ කිරි ගොවීම් විසින් තම හරක් ගොවිපළවල් සඳහා ප්‍රදේශ බලහත්කාරයෙන් අල්ලා ගත්තද මෙහි පාරම්පරිකව උරුමය හිමිවිය යුත්තේ නැගෙනහිර සිංහල ගොවීන්ටයි.

අවසානවශයෙන් කීමට ඇත්තේ තිස් අවුරුදු යුද්ධයෙන් හොද හැටි බැට කා උපන් බිමේ අනාථයන් වූ දිවුලපතාන සිංහල ජනතාව අද මහවැලිය මෙන්ම අනෙකුත් රාජ්‍ය අධිකාරියන්ගෙනුත්, නැගෙනහිර දමිළ දේශපාලකයන්ගෙනුත් එල්ලවන අනේකවිධ අභියෝගයන් මැද සිදුකරන මෙම සටනට සමස්ත රටම මේ මොහොතේ එක්විය යුතු බවයි.

අනුරාධා යහම්පත් -හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර



5 Viewers