ලුතිනන් Thilak නිශ්ශංක
මුලින්ම මේ උපුටා ගැනීම සඳහන් කරනවා..
” මේ වන විට ලුතිනන් තිලක් නිශ්ශංක ඇතුළු ඔහුගේ සෙබලුන් පිරිස සතුරාට එල්ල කරමින් තිබූ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම නතර කර තිබිණි..
එනිසා සතුරා බංකරයෙන් බංකරයට ක්‍රමයෙන් පරීක්ෂා කිරීමේ කටයුතුවල නියැලෙමින් තම බංකර් පෙළ වෙතට ළඟා වෙන බවක්
ලුතිනන් තිලක් නිශ්ශංකට තේරුම් ගියේය..
ඒ අනුව තවදුරටත් ආරක්ෂක වළල්ලේ රැඳී සිටීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් බව අවබෝධ කරගත් ලුතිනන්වරයා තම කණ්ඩායමේ ඉතිරිව සිටි සෙබළුන් කැඳවා තමා අතහැර තුවාලකරුවන්ද රැගෙන පසුබසින ලෙසට උපදෙස් දුන්නේය..
එහෙත් ඔහුගේ කණ්ඩායමේ සෙබළුන්ගෙන්
ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොවීය..
එහිදී නැවතත් ලුතිනන් තිලක් නිශ්ශංක තම සෙබළුන් වෙත දැඩිව දන්වා සිටියේ තම අණ හා උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසටය..
පසුව තම ඛන්ඩ භාර නිලධාරියාගේ අණට අවසානයේදී අවනත වූ සෙබලු තුවාලකරුවන්ද රැගෙන ආරක්ෂිත ස්ථානයක් වෙත සීරුවෙන් පසුබැස්සෝය..
මේ අතරතුරදී කාටත් හොරා තම සහෝදර සෙබළුන්ගේ පසු බැසීම ආරක්ෂා කිරීම වෙනුවෙන්,
තම මරණය තෝරාගෙන තිබූ
ලුතිනන් තිලක් නිශ්ශංක ,
කේ.400 වර්ගේ අත් බෝම්බ දෙකක් දෑතෙහි රඳවා ගෙන සතුරා පැමිණෙන තෙක් බංකරය තුළ මාන බලමින් සිටියේය..
ඒ වන විට අවට ප්‍රදේශයේ පැවතියේ සැලකිය යුතු නිහඬතාවයකි.
ලුතිනන් වරයා සිතූ පරිද්දෙන්ම වැඩි වෙලාවක් ගත වන්නට පෙර ත්‍රස්ත කැල බංකරය තුළට ඇතුළු විණි..
සියල්ල තීරණය වන්නට ගත වූයේ නිමේෂයකි.
ලුතිනන් තිලක් නිශ්ශංක ක්ෂණිකව සතුරු කැල වෙත කඩා පැන තම දෑතෙහි එතෙක් වෙලා සඟවාගෙන තිබූ අත්බෝම්බ දෙකෙහිම ලීවර මුදා හැරියේ ගජබා රෙජිමේන්තුවෙන් බිහිවුණු ලක් මවගේ තවත් එක් සුජාත පුත්‍රයෙකුගේ රණකාමීත්වය එදා පූනරින් යුධ පිටියේ සටහන් කරමිනි…”……….
මේ උපුටා ගැනීම මේජර් සෙල්වින් සලේ විසින් රචිත 199 3.11.11 පූනරීන් ත්‍රස්ත ප්‍රහාරය පොතෙහි කවරයේ පසුපස පිටුවෙනි..
ඒ විරෝධාර රණවිරුවා ,
යුද බිමේ වීරත්වය සඳහා පිරිනැමෙන ඉහළම පදක්කම වූ,
පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබුවේය.
(55/56/57/58 පිටුවල ඒ අනුවේදෙනීය කතාව සටහන් ඇත) ඔහු ඩී එස් සේනානායක විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
ඒ පොත එළිදැක්වීමේ උළෙල පැවැත්වෙද්දි උත්සවය ඉතාමත් ලගන්නා සුළු අයුරින් මෙහෙයවූ ,
තරුණ නිවේදකයා එක මොහොතකදී සඳහන් කළේ ,
මේ සුවිශේෂ රණකාමී ජීවිත පරිත්‍යාගය මාතෘ භූමිය වෙනුවෙන් කළ ,
ඒ විරෝධාර රණ විරුවාගේ උතුම් මව,
ඒ මොහොතේ සභා ගැබෙහි රැඳී සිටින බවයි..
එදා පූනරීන් යුද පිටියේ ත්‍රස්තයන් සමග සජීවීව සටන් කළ සහ යුද්ධය පුරා යුද්ධයේ සිටි
ජෙනරාල් තනතුරු ඇතුළු ඉහළ යුද හමුදා නිල වලට පසුව උසස්වීම් ලැබූ ,
නිලධාරීන් ඇතුළු සියලු දෙනා සිය අසුන් වලින් නැගිට එතුමියට සිය උපහාරය පිරිනමනු ලැබීය..
උළෙල අවසානයේ මා දුටු සංවේදීම මොහොතක් වූයේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මහ සටනේ මහා සෙන්පතිකු වූ ,
මේජර් ජෙනරල් චාගි ගාල්ලගේ ,
එම මාතාව වෙත පැමිණ වැඳ නමස්කාර කර ගෞරව දැක්වූ මොහොතයි..
මට ඒ මිල කළ නොහැකි වටිනා ඡායාරූපය ලබාගැනීමට හැකි වූයේ නැත..
මමද ඒ විරෝධාර මෑණියන්ට වැඳ ආචාර කළෙමි ..
ඒ මොහොත මගේ මිතුරෙකු නාලක ලියනගේ සිය කැමරාවට හසු කරගෙන තිබුණේය..
උතුම් මෑණියනි,
ආදරණීය අම්මේ,
ඔබ මේබිමට දායාද කර තිබෙන්නේ,
වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ විරෝධාර දරුවෙකි..
අප ජීවත්වන කාලය පුරාවටම ඔබ වැනි මාතාවන් ,ඔබේ පුතුවැනි විරෝධාර විරුවන්,
අපේ හදවත් තුළ ජීවත් වනු ඇත..
කවර ක්‍රමයක් යටතේ හෝ කවර නීතියක් යටතේ හෝ අපේ හදවත් තුළින් ඔවුන් ඉවත් කිරීමට කිසිදා කිසිවෙකුට හැකි වන්නේ නැත..
6 Viewers





