• Home »
  • Sinhala Articles »
  • යාපනය අතීතයේ පටන්ම සිංහල ජනාවාසයක් බවට ඇති ඉතිහාසගත සාක්ෂි

යාපනය අතීතයේ පටන්ම සිංහල ජනාවාසයක් බවට ඇති ඉතිහාසගත සාක්ෂි

යාපනය සැලකෙන්නේ ලංකාවේ විශේෂිත භූමියක් ලෙසයි.අර්ධද්වීපයක් වන එහි අද වනවිට වැඩි වශයෙන් හින්දු භක්තිකයන් වාසය කරයි. ඇතැම් පිරිස් ඉතිහාසයේ සිටම යාපනය දෙමළ රාජධානියක් වශයෙන් පැවතිබව පෙන්වා දීමට උත්සාහ කලද වසර දෙදහසකට පෙරත් යාපනය සිංහල බෞද්ධ පාලන කලාපයක් පැවති බව තහවුරු වන සාධක හෙලිව ඇතිබව ඔබ මෙතෙක් දැන සිටියාද ?

1936 වසරේදී යාපනයේ වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශයෙන් රන් පතක් හමුවී තිබුණේ එහි වූ විශ්ණු කෝවිලක සිදුකල කැණීම් කිරීමක් අතරතුරදීය.බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියවී තිබූ මෙම රන් පත තුල අකුරු 49 කින් වදන් දැක්වෙන අතර මේ ඒ පිළිබඳ අනාවරණයයි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් රචිත ” එපිග්‍රැපිකා සීලනිකා ” ග්‍රන්ථයේ දැක්වෙන පරිදි මෙම රන්පත තුල දැක්වෙන්නේ ” වසභ ” රජුගේ පාලන සමය තුල මෙම රන්පත ලියවා ඇති බවයි.ඊට අනුව වසභ රජුගේ සමයේ ඔහුගේ අමාත්‍ය වරයකු වූ ” ඍෂිගිරි ” නම් අමාත්‍ය වරයකු යාපනය හෙවත් ” නකදිව ” පාලනය කලබව එහි දැක්වෙනවා.එසේම ඔහු විසින් ” පියංගුක තිස්ස ” විහාරය යාපනයේ ඉදිකල බවත් මෙම රන්පතෙහි සඳහන් වෙනවා.වසභ රජු ක්‍රි : ව : 65 හේ සිට ක්‍රි : ව : 109 දක්වා කාලසීමාවේදී මෙරට පාලනය කල අතර අද වල්ලිපුරම් ප්‍රදේශය එකල ” බඳගරඅතන ” ලෙස භාවිතාකර ඇති බවද එහි සඳහන්.

මහාවංශය තුල පියඟු දීපයෙහි තිස්ස නම් මහා තෙරනමක් වාසය කල බව කියවෙන අතර දුටුගැමුණු මහරජ සමයේද පියඟු දිවයිනේ සිට තිස්ස නම් රහතන් වහන්සේ නමක් අනුරාධපුරයට වැඩම කල බවයි කියවෙන්නේ.ඒ අනුව මෙම රහතුන් වහන්සේ වැඩසිටි භූමිය යාපනය බවද එමගින් අනාවරණය වෙනවා.

මෙම රන්පතෙන් හෙලිවන නකදිව වසර දෙදහසකට පෙර නාගදීපය ලෙස හඳුන්වා ඇති අතර අද එය ව්‍යවහාර වන්නේ යාපනය ලෙසයි.එහෙත් නාගදීප විහාරය අදටත් එම නාමය පවත්වාගෙන යනු ලබනවා.ක්‍රි : ව : දෙවන සියවසේදී ⁣” ටොලමි ” විසින් අඳින ලද ලෝක සිතියමේ ලංකාවේ ඉහල කොටස ” නාගදිබ් ” ලෙසයි හඳුන්වා ඇත්තේ.” රසවාහිනිය සහ සද්ධර්මලංකාරය ” තුලද බුදු දහම පවතින ” මණිනාග ” සහ ” මණිනක්දිව ” නමින් හඳුන්වා ඇත්තේද යාපනය අර්ධද්වීපයයි.

කෙසේවෙතත් අදවනවිට බෙදුම්වාදී කණ්ඩායම් විසින් යාපනය වෙනත් නිජබිමක් ලෙස පෙන්වීමට කරුණු කාරණා ඉදිරිපත් කලද ඒවා බිඳවැටෙන්නේ මෙම ඓතිහාසික සාක්ෂි අනුවයි.ඒ අනුව අද කෙසේවෙතත් මෙරට මුතුන්මිත්තන් අතීතයේදී උතුරේ මෙන්ම දකුණේද එකහා සමානව වාසයකර ඇති බවත් මෙම ඓතිහාසික සාක්ෂි තුලින් හෙලිවෙනවා.

වල්ලිපුරම් විශ්ණු දේවාලයේ කැණීම් කිරීමේදී බුදු පිළිම කිහිපයක්ම හමුව ඇති අතර ඒවා ක්‍රි : ව : දෙවන සියවසට අයත් බවයි අනාවරණය කර ඇත්තේ.ඒ අනුව වල්ලිපුරම් රන්පතෙන් කියැවෙන රහතුන් වැඩසිටි භූමිය සහ විහාරය අද යාපනය ප්‍රදේශය බවයි තහවුරු වන්නේ.1926 වසරේදී මේ පිළිබඳ වාර්තා තබා ඇති ” O p ලාසන් ” නමැති බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයාද යාපනය අර්ධද්වීපය තුල වසර දෙදහසකට වඩා පැරණි සිංහල ජනාවාසයක නටබුන් පවතින බව හෙලිකර තිබෙනවා.

එහෙත් අද වනවිට යම් අරමුණු මත ඉතිහාසය විකෘති කරමින් පැවතියද මෙම සාධක තුලින් එම ප්‍රකාශයන් බිඳහෙලිය හැකි වෙනවා. සියළු ජාති ආගම් බේද වලින් තොරව සියළු දෙනා එක්ව සිටීම අගය කරන අතර එය මුල්කරගනිමින් රටක ඉතිහාසය වෙනස් කිරීමට කිසිවෙකුට ඉඩ ලබ නොදිය යුතු බවයි අප අවධාරණය කරනු ලබන්නේ.

දිනේෂ් කබ්රාල්



143 Viewers