යුක්තියේ දෑස් අන්ධ වීද? වරදකරුවන් නිදැල්ලේ සිටිද්දී සත්‍යය වෙනුවෙන් හඬ නැඟූවන් සිරගෙට තල්ලු කරන රටක ඛේදවාචකය!
ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ, දේශපාලන සහ නීතිමය පසුබිම දෙස බලන විට පොදු මහජනතාව තුළ ඇති වන්නේ දැඩි කලකිරීමක් සහ ප්‍රශ්නාර්ථයකි. රටක නීතිය සහ යුක්තිය ඉටු විය යුත්තේ කා වෙනුවෙන්ද යන්න අද වන විට බරපතළ විවාදයකට තුඩු දී තිබේ. එක් පසෙකින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින්, අන්තවාදී පල්ලි, කල්ලි කණ්ඩායම්වලට සෘජුව හෝ වක්‍රව අනුබල දුන් බවට චෝදනා ලැබූ ප්‍රබල දේශපාලන අධිකාරීන්, පූජකයින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, ප්‍රහසන ශිල්පීන් සහ විවිධ ක්‍රියාකාරීන් අද වන විට කිසිදු බාධාවකින් තොරව නිදහසේ සමාජය තුළ සැරිසරති.
බුදුදහමට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් සිදු කළ ප්‍රහසන ශිල්පිනී නටාෂා එදිරිසූරිය, සහ බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලැබූ බෲනෝ දිවාකර සමාව අයදිමින් නිදහස් විය.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුදු දහමට එරෙහිව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ, “බුදුන් වහන්සේ ආලෝකයක් සොයමින් සිටි බවත්, ඇත්ත වශයෙන්ම උන්වහන්සේ සෙවූ එම ආලෝකය ජේසුස් වහන්සේ වන නිසා සෑම බෞද්ධයකුටම ජේසුස් වහන්සේ අවශ්‍ය වන බවත්” ය.
මෙම අදහස් දැක්වීම බෞද්ධ ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර, ආගමික සංහිඳියාවට බාධා කිරීමේ චෝදනාව යටතේ විවිධ පාර්ශව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි ඉදිරිපත් කරන ලදී.
මෙම මතභේදාත්මක ප්‍රකාශයෙන් පසුව ඔහු නීතියට වැලි ගසා (බාර නොවී) විදෙස්ගත වූ අතර, පසුව ජාත්‍යන්තර බලවේග වල අනුග්‍රහය යටතේ, ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු විසින් සමාව අයැද සිටි බවටද වාර්තා විය. ඔහුද නිදහස්ය.
ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ) සංවිධානයේ හිටපු ලේකම් අබ්දුල් රාසික් විසින් බුදු දහමට හා බුදුරජාණන් වහන්සේට අපහාස වන පරිදි ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වූයේ, “බුදුරජාණන් වහන්සේ යනු නරභක්ෂකයකු බවත්, ‘ත්‍රිවිධ රත්නය’ යනු ගල් හෝ ගල් කැට බවත්” යන ප්‍රකාශයයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව ඔහු අධිකරණය හමුවේ සිය කනගාටුව හා සමාව අයැදීමට කටයුතු කර තිබිණි.
ජීවන්ත පීරිස් පියතුමා මෑත කාලයේදී වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුමේදී, ජන සංහාරයක් සිදුකළ බවට කළ ප්‍රකාශ කළ වදන වූයේ, ශ්‍රී ලංකාවේ අවසන් වූ සිවිල් යුද්ධයේදී දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් (Genocide) සිදු වූ බවයි.
ඔහු ප්‍රකාශ කළේ:
“වසර 30ක යුද්ධයේ අරමුණ ශ්‍රී ලංකාවේ සමස්ත දෙමළ ප්‍රජාවම විනාශ කිරීමයි,”,
“දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා,” පයනුවෙනි.
මෙම අදහස උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ,
“මෙරට සිංහල බහුතරවාදී රාජ්‍ය විසින් දෙමළ ජනතාව ඓතිහාසික මර්දනයකට ලක් කර ඇති බවයි”.
මෙම මතය ප්‍රකාශ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සහ කතෝලික සභාවේ ඉහළ පෙළේ නියෝජිතයන් ඔහුගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එය ඔහුගේ පෞද්ගලික මතයක් පමණක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් අත සෝදා ගත්තද, එම මතය සිංහල බෞද්ධ සමාජයේ දැඩි කතාබහට, කලකිරීමකට මෙන්ම විවාදයටද ලක් විය.
කෙසේ වෙතත්, නැගෙනහිර සහ උතුරේ ක්‍රියාකාරී පූජකවරුන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ඔහු දැරූ එම මතය සමඟ සහයෝගීතාව පළ කරමින් ඔහු වෙනුවෙන් නොපැකිලිව පෙනී සිටියහ. ඔහුද අදටත් නිදහස්ය.
තවත් පැත්තකින්, අතීතයේ දහස් සංඛ්‍යාත අහිංසක මිනිස් ජීවිත විනාශ කළ ලේවැකි ඉතිහාසයකට උරුමකම් කියන ජනතා විමුක්ති පෙරමුණද ඇතුළු විවිධ දේශපාලන පාර්ශවයන් අද රටේ ඉහළම පාලන තන්ත්‍රයන් මෙහෙයවීමේ නිරතව සිටියි.
මෙරට බහුතරයකගේ පදනම වූ සිංහල බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට ප්‍රසිද්ධියේම අපහාස හා නිගරු කළ සිය ගණනක් පුද්ගලයන් නීතියේ රැහැනට හසු නොවී නිදහසේ ජීවත් වෙති.
වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, තුන්සියයකට අධික අහිංසක බැතිමතුන් පිරිසක් බිලිගත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට තොරතුරු ලැබී තිබියදීත්, ඒ පිළිබඳව නිසි පියවරක් නොගත් වගකිවයුතු එවකට සිටි පාලකයන් මෙන්ම උසස් ආරක්ෂක නිලධාරීන් ද, පූජක ප්‍රසාදීන් ද, අද වන විට කිසිදු නීතිමය කරදරයකින් තොරව සුඛෝපභෝගී ජීවිත ගත කිරීමයි.
නමුත් මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, මෙරට ක්‍රියාත්මක වූ ජිහාඩ් අන්තවාදී සංවිධාන 50කට අධික සංඛ්‍යාවක තොරතුරු සහ සහරාන් ඇතුළු කල්ලියේ විනාශකාරී ත්‍රස්ත සැලසුම් පිළිබඳව මුළු රටටම සහ ආරක්ෂක අංශවලට කල් වේලා ඇතුව අවුරුදු ගණනකට ඉහතදී, මුලින්ම හෙළිදරව් කරමින් දැඩි ලෙස අනතුරු ඇඟවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද වන විට නැවතත් අඳුරු කාමරයකට කොටු වීමට නියමිතය.
කිසිදු මිනිසෙකු ඝාතනය නොකර, රටේත් ජාතියේත් අනාගත ආරක්ෂාව වෙනුවෙන් හඬ නැඟූ උන්වහන්සේ වැනි නායකයන් මෙලෙස දඬුවම් විඳීම සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇත.
මෙම තත්ත්වය අපට සිහිපත් කරන්නේ අතීත ඉතිහාසයේ අනගාරික ධර්මපාලතුමන් වැනි ශ්‍රේෂ්ඨ ජාතික වීරයන්ට ද මෙරට වැසියන් විසින් “හොරෙකු” යැයි ලේබල් අලවා රටින් පන්නා දැමූ ඛේදනීය අතීතයයි. එදා සිදුවූ එම ඓතිහාසික වරදම අදත් වර්තමාන සමාජය තුළ පුනරාවර්තනය වෙමින් පවතී. කවදා හෝ දිනක අන්තවාදයේ සෙවනැලි අප සැමගේම නිවෙස්වල දොරකඩටම පැමිණ තට්ටු කරන දවසට, රට වෙනුවෙන් එදා සත්‍යය කතා කළ ඥානසාර ස්වාමීන්වහන්සේගේ සහ සිංහල බෞද්ධ ක්‍රියාකාරිකයින්ගේ සැබෑ අගය මුළු රටටම වැටහෙනු ඇත.
එහෙත්, එදිනට ජාතියක් ලෙස අප සියල්ල ප්‍රමාද වැඩි වනු ඇති බව නිසැකය.
2026.06.24
දුලාර ගුණතිලක
කැදවුම්කරු
සිංහල සංවිධාන එකමුතුව
076 648 3664
1 Viewers





