• Home »
  • Sinhala Articles »
  • ලක්දිවට මහා මෙහෙවරක් සිදු කළ සංඝමිත්තා රහත් මෙහෙණිය

ලක්දිවට මහා මෙහෙවරක් සිදු කළ සංඝමිත්තා රහත් මෙහෙණිය

(Courtesy of The Island)

කාන්තාව යනු ලෝකයේ ආරම්භයේ පටන්ම විවිධ හැලහැප්පීම්, වේදනාවන්, අපහාස නින්දා මෙන්ම ස්වච්ඡන්දතාව සම්බන්ධයෙන් ද බොහෝ පීඩාවන්වලට ලක් වූ තැනැත්තියකි. පුද්ගලයා හා සත්වය බිහි වීමේ ප‍්‍රධානම සාධකය වන්නේ ඇයයි. මවක් බිරිඳක් හා දියණියක් ලෙස මෙන්ම සමාජීය වගකීම් දරන්නියක් ලෙස ද කාන්තාව මානව ඉතිහාසයේ ආරම්භය පුරාවටම සිය වගකීම ඉටුකර තිබේ. එහෙත් සමාජය හැම විටම ඇය දෙස බලන්නට පුරුදුව තිබූ බැල්ම එතරම් ප‍්‍රසන්න නොවේ. එහි පුදුමය වන්නේ ගැහැනියක් තවත් ගැහැනියක් දෙස බලන කෝණය පවා එතරම් කාරුණික නොවීමේ කිසියම් ස්වභාවයක් අද පවා පැවතීමයි. බොහෝ සෙයින් දියුණු යැයි සම්මත වර්තමාන ලෝකයේ පවා සමහර සමාජයන් හි කාන්තාව යනු හුදෙක් දරුවන් හැදීමේ යන්ත‍්‍රයක් වැනිය. එසේත් නැති නම් හුදෙක් රසාස්වාදනය පිණිස නිර්මාණය වූවක් පමණකි. මෙකී ලක්ෂණයන් අතීත වර්ථමාන මෙන්ම අනාගතයටත් පවතිනු නිසැකය. එහෙත් සාපේක්ෂව බලන කල වර්තමානය වන විට බොහෝ දුරට කාන්තාව සිය හිමි තැන ලබාගෙන සිටින්නීය. අතීතයේ යම් යම් පුද්ගලයන් සමාජයේ අයට හිමි තැන වෙනස් කරන්නට දැරූ උත්සාහයන්හි ප‍්‍රතිඵලයක් ලෙස අද ලෝකය පාලනය කරන්නට පවා ඇය සමත් වූවාය. ඇගේ එම ඓතිහාසික ගමන් මගෙහි විශාල මෙහෙවරක් කළ කාරුණික මානව හිතවාදියෙක් වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ ය.

බුදුරජාණන් වහන්සේ පහල වන අවදිය වන විට ඉන්දියාවේ පැවති සාමාජීය තත්ත්වය කාන්තාවට හිතකර වූවක් නොවේ. ඒ වන විට ඇය නිවසේම හිරකාරියගේ තත්ත්වයට වැටී සිටියාය. සමාජයේ ආගමික පක්ෂය ලෙස හැඳින්වූ බමුණු පූජක පිරිස සමාජයේ කාන්තාව කිසිදු අයිතිවාසිකමක් නැති තත්ත්වයට පත් කරන්නට දායක වූහ. ”පිතා රක්ෂති කෞමාරේ’’ භර්තා රක්ෂති යෞවනේ – පුත‍්‍රාහ් ස්ථවිරේ භාවේ, න භජෙති ස්ත‍්‍රී ස්වතන්ත‍්‍රතාත් ” යනුවෙන් ස්ත‍්‍රිය යනු පියා’’ ස්වාමියා හා පුතා යටතේ සිටිය යුුතු අයෙක් ලෙස ඔවුන් සමාජගත කළහ. එසේම කුල භේදය නිසා ද තව තවත් ඇය අඳුරු අගාධයේ පතුළටම ගිලී සිටියාය. කුලවත් යැයි සම්මත ගෙවල්වල බැල මෙහෙ කළ ඇයට විඳින්නට සිදු වූ තාඩන පීඩන කෙලවරක් නැති විය. එහෙත් බුදුරජාණන් වහන්සේ මේ ක‍්‍රමවේදයෙහි තිබෙන අසාධාරණ බව තේරුම් ගෙන එය සමාජයට පැහැදිලි කරමින් ඇයට හිමි තැන ලබා දීමේ පෙරමුණ ගත්හ. වරක් කොසොල් රජුගේ බිසව දියණියක් ප‍්‍රසූත කළ විට කනස්සල්ලට පත් වූ රජතුමා අස්වසමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රජතුමනි, ඇතැම් විට ස්ත‍්‍රියද ශ්‍රේෂ්ඨය. එහෙයින් පෝෂණය කරනු මැනව. නුවණැති සිල්වත් නැදි මයිලන් දෙව්කොට වෙසෙන පතිවත රක්නා ස්ත‍්‍රියක් වේද දිසාවන්ට අධිපති රජතුමනි ඇයට යම් පුතෙක් උපදීද දක්ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත‍්‍ර තෙමේ රාජ්‍ය අනුශාසනාද කෙරෙයි’’ යනුවෙනි. රජ්ජුමාලා වැනි කුලවත් බවේ ගොදුරු බුදුරජාණන් වහන්සේගේ ම`ගපෙන්වීමෙන් නිදහස ලැබූහ.

ඉන්දීය සමාජයේ තිබූ ඉහළම ඉගැන්වීමක් වූයේ ලෝකය මහා බ‍්‍රහ්මයන් විසින් මවන ලද බවත් එනිසා මහා බ‍්‍රහ්මයන් ඉතා උත්තරීතර හා වන්දනීය බවත් ය. මේ සංකල්පයම බුදුරජාණණ් වහන්සේ යොදා ගනිමින් ගැහැනිය මවක් ලෙස මහා බ‍්‍රහ්මයන්ට සමවන බවය. එය කිසිම දිනක එකළ සමාජයේ තිබූ අදහසක් නොවේ. එහෙත් බුදුරජාණන් වහන්සේ ඉන්දීය ජනසමාජයට බ‍්‍රහ්මාති මාතා පිතරෝ යන සංකල්පය හඳුන්වා දුන්හ. එසේම බිරිඳක් ලෙස ඇයට සම අයිතිවාසිකම් හිමි විය යුතු බව සිඟාලෝවාද සූත‍්‍රයෙහි යුතු කම් හා වගකීම් පිළිබඳව පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. බුදුරජාණන් වහන්සේගේ එම මහා මෙහෙවරෙහි විශිෂ්ඨතම කටයුත්ත වන්නේ කාන්තාවන්ට පැවිද්ද ලබා දීමයි. මවක් හෝ බිරිඳක් ලෙස කාන්තාවක් පූජ්‍ය වන්නේ අදාළ නෑයින්ට පමණය. එහෙත් භික්ෂුණියක වශයෙන් ගත් විට ඇය මුළු ලෝකයටම උතුම් බවට පත් වෙයි. ඒ අනුව මානව කාන්තා ඉතිහාසයේ අග‍්‍රම ස්ථානය ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේට හැකි විය. මහා ප‍්‍රජාපතී ගෝතමී තෙරණිය ඇතුළු කාන්තාවන් පන්සියයක් සසුන් ගත කරමින් ඓතිහාසික කටයුත්තක් සිදුකරන්නට බුදුරජාණන් වහන්සේට හැකි විය. එතැන් සිට සමාජයේ විවිධ අයුරින් වේදනාවට පීඩාවට පත් වූ කාන්තාවන් බුදු සසුනෙහි පැවිද්ද ලබමින් සැනසීමට පත්වූහ.

කාන්තාවන්ට පැවිදි බව ලබා දීමෙන් පසුව ඉන් නොනැවතී ඒ ඒ අයගේ දක්ෂතාවන් අනුව විවිධ තනතුරු ලබා දෙන්නට ද බුදු රජාණන් වහන්සේ කටයුතු කළහ. භික්ෂූන් වහන්සේලා ලැබූ විවිධ අගතනතුරු ඒ අයුරින්ම භික්ෂණීන් වහන්සේලාද ලැබූහ. මෙහිදී සිහිපත් කළ යුතු වැදගත්ම සිද්ධියක් වන්නේ ප‍්‍රජාපතී ගෝතමී තෙරණියගේ පිරිනිවන් පෑමයි. ඇය පිරිනිවන් පාන්නට මෙහෙණවරට ගමන් කරන විට ලොවුතුරු බුදුවරයෙක් ගෙන් ලැබිය හැකි ඉහළම බුහුමන ලබන්නට ඇය වාසනාවන්ත වූවාය. ඇය මෙහෙණවරට යන තෙක්ම ඇය පසුපසින් බුදු රජාණන් වහන්සේ ගමන් කළේ ඇයට ගරු කිරීමක් වශයෙනි. එනිසා කාන්තා විමුක්තිය ලෝකයේ යම් තැනකින් ආරම්භ වූවා නම් ලොවුතුරු බුදුරජාණන් වහන්සේ එහි පුරෝගාමියා ලෙසින් හැඳින්විය හැකිය. කාන්තා පැවිද්ද එදා නොවූවා නම් අද වන විට ගැහැනියගේ තත්ත්වය වෙනස් වන්නට ඉඩ තිබුණි. බුද්ධියේ හෝ අවබෝධයේ කිසිම ගැටලූවක් කාන්තාවට නොමැති බව ලෝකය හමුවේ ඔප්පු වන්නට බුදුරජාණන් වහන්සේගේ කාන්තා පැවිද්ද අනුමත කිරීම හේතු විය. පෙරදිග බෞද්ධ රාජ්‍ය වන ශ‍්‍රී ලංකාවට බෞද්ධ ලෝකයේ උතුම්ම වස්තූන් දෙක උරුමව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් නිසාය. ඉන් එක් අයෙක් වන්නේ හේමමාලා කුමරියයි. අනෙක් තැනැත්තිය වන්නේ ධර්මාශෝක මහ රජුගේ දියණියක වන සංඝමිත්තා තෙරණියයි. සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම වීමේදී මුල් වී පෙනෙන ප‍්‍රධාන කරුණු 03 ක් දැක්විය හැකිය.

1. ශ‍්‍රී මහා බෝධි ආගමනය

2. ශිල්පීය ඥානය ලැබීම

3. මෙහෙණි සස්න පිහිටුවීම

දුමින්දාගමනය යනු ලංකාවේ වෙනස් මගක ආරම්භයේ සන්ධිස්ථානයකි. දුම යනු දෘම යන සංස්කෘත වචනයේ හෙළ පෙරලූමයි. දෘම යනු ගසට නමකි. ඉන්ද්‍ර හෙවත් ඉන්ද යනු අධිපති යන්නයි. අන් ගස්වලට වඩා උතුම් වෘක්ෂය හෙවත් අධිපති වෘක්ෂය යන තේරුමෙන් දුමින්දාගමනය යන වචනය ව්‍යවහාර වෙයි. ඉතිහාසය දක්වන ආකාරයට ධර්මාශෝක රජතුමාගේ අනුග‍්‍රහය පරිදි බුද්ධගයාවේ ජයශ‍්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවාගෙන නැව් නැග පැමිණෙන්නේ යාපනයේ දඹකොලපටුන නම් වරායටයි. එම යුගයේ ලංකාවේ රජතුමා වන දෙවනපෑතිස් රජතුමා දඹකොල පටුනට ගොස් කරවටක් මුහුදෙහි ගිලී මෙම පිරිස පිලිගත් බව සඳහන් වේ. එම මහානර්ඝ වස්තුව අනුරාධපුරයට වැඩමවාගෙන යන අතර පහළ වූ අංකුරයන් අෂ්ට ඵල බෝධි හා දෙතිස්ඵල බෝධි යනුවෙන් ප‍්‍රසිද්ධ ය. එම බෝධීන් වහන්සේලා ලංකාවේ විවිධ ස්ථානවල රෝපණය කරන ලද අතර ඒවා වඩාත් පූජනීයත්වයෙන් අදද ලංකාවේ වන්දනා මාන පවත්වනු ලබයි. දඹකොළ පටුන, තිවංක නම් බමුණුගම, කතරගම, සඳුන්ගම, ථූපාරාමය, ඉසුරුමුනිය, සෑගිරිය, පළමුවැනි සෑමළුව යන ස්ථාන අෂ්ට ඵල බෝධීන් වහන්සේ ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. පළමු අංකුර අටෙන් පසුව පහළ වූ අංකුර 32 ක් දෙතිස් ඵල බෝධී වශයෙන් හැඳින්වෙන අතර ඒවාද වන්දනාමානවලට පාත‍්‍ර වෙමින් වැඩසිටියි.

මෙසේ මහත් පෙළහරින් ගරු බුහුමන් සහිතව වැඩම වූ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයෙහි වර්ථමානයේ වැඩ සිටින ස්ථානයේ රෝපණය කරනු ලැබිණි. ඉන් පසුව සියවස් ගණනාවක් පුරා විවිධ රජවරුන්ගේ අනුග‍්‍රහය ලබමින් අදද බෝ සමි`දුන් වැඩ සිටියි. බෝධීන් වහන්සේගේ ඉතිහාස කතාවේ සිදුවූ යම් යම් හානිදායක තත්ත්වයන් ද වාර්තාවල සඳහන් වෙයි. ඒ අනුව මෙම පූජනීය වෘක්ෂයේ ශාඛා දෙකක් වෙන වෙනම 1907 හා 1911 කුණාටු සමයේ කඩා වැටී ඇත. 1929 දී තවත් ශාඛාවක් කපා ඉවත් කර ඇත. කෙසේ වුවද ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව අබෞද්ධ අයට පවා ශ‍්‍රී මහා බෝ සමි`දු මහා සැනසීමකි. ජීවිතයේ විවිධ කම්කටොලූ, හැලහැප්පීම් ජනතාව කියා පිහිට පතන්නේ බෝ සමි`දුගෙනි. එසේම විවිධ ප‍්‍රාර්ථනාවන්, අභිමතාර්ථයන් බෝ සමි`දුන් අබියස කරන විට ඒවා ඉටුවන්නට කිසියම් අදෘශමාන ශක්තියක් ඇතැයි ලක්දිව බොදු ජනතාව විශ්වාස කරති. ඒසේම සිය වේදනාවන් බෝ සමි`දු අබියස දියකර හරින්නට ලැබෙන අවස්ථාව අන් කිසිම තැනකින් ලැබෙන පිහිටක් නොවන බව නම් කිව යුතුය.

එසේම බෝධීන් වහන්සේ අරමුණු කරගෙන බිහි වූ සාහිත්‍යය ඉතා පුළුල් ය. බෝධි හා මහාවංශය ඉතා විචිත‍්‍රවත් ලෙස දක්වන බෝධි ආගමනය එක් අතකින් සාහිත්‍ය බිහි වීමෙහි වැදගත් ප‍්‍රස්තුතයක් වී තිබේ. එය ලාංකීය සාහිත්‍යධරයාගේ හැකියාව පෙන්වීමේ වේදිකාවක් මෙන්ම ආගමික සිතිවිලි පෝෂණය වීමේ මූලබීජයක් ද වී තිබේ. විවිධ කාව්‍ය හා ගීත රචනාවන් ඇතුළු සාහිත්‍යාංග ගණනාවක් මේ නිසා ඇති වූ අතර ජනතාව රාත‍්‍රි කාලවල බෝ මළුව සමීපයට පැමිණ ගිනි දල්වමින් රැය පහන් කරමින් බෝ සමි`දුන් රැුකගන්නට දැරූ උත්සායයන් හි ප‍්‍රතිඵලයක් ලෙස නිහඬ රාත‍්‍රීන් සාහිත්‍ය රස ජනනයට රුකුල් වන්නට ඇත.

වර්ථමානය වන විට බුදුදහම යම් තරමකින් සුරක්ෂිත වන්නට හේතුවූයේ ධර්මාශෝක රජතුමාගේ කාර්යභාරයයි. ලංකාවටත් තවත් රටවල් ගණනාවකටත් භික්ෂූන් වහන්සේලා හා ධර්ම නියෝජිතයන් යවමින් බුදුදහම පතුරවන්නට එතුමන් කටයුතු කළහ. ලංකාවට මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත පිරිස පැමිණෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මහින්දාගමනයෙන් බුදු දහම හිමි වීමෙන් පසුව ලංකාවේ ඓතිහාසිකව සිදු වූ වැදගත්ම සිදුවීම නම් දුමින්දාගමනය හෙවත් සංඝමිත්තා තෙරණියගේ වැඩමවීමයි. ලංකාව හා ඉන්දියාව අතර සිදුවූ එක් අතකින් දේශපාලනික මෙන්ම තව අතකින් ආගමික හා සංස්කෘතිය පරිත්‍යාගයක් ලෙස ඉහළින්ම සැලකිය හැකි ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ආගමනය සිදුවන්නේ සඟමිත් තෙරණියගේ වැඩමවීමත් සමගය. එම පැමිණීම හුදු නෑගම් පැමිණීමක් ලෙස දැකිය නොහැකිය. එය ලාංකීය ඉතිහාසය මුළුමනින්ම වෙනස් කිරීමට සමත් වූ ශිල්පීය දායාදයක් ලෙස සැලකිය හැක. එසේ කීමට හේතුව වන්නේ කුල හෙවත් ශිල්පීය පන්ති 18 ක් විවිධ හැකියාවන් සමග ලංකාවට පැමිණීමයි. යක්ෂ, රාක්ෂ, දේව හා නාග යන සිවු හෙල ගෝත‍්‍රයන් ගෙන් සජ්ජිත වූ ලාංකීය තාක්ෂණික ඥාන සම්භාරයට ඉන්දීය ශිල්පයන් ද මුහුවීම වඩාත් ක‍්‍රමවත් තාක්ෂණික ක‍්‍රමවේදයන් බිහි වන්නට හේතු වන්නට ඇත.  කඩුගන්නා තනතුර, 2. බමුණුනා තනතුර (මහ බෝධියට ශාන්ති කිරීම සඳහා), 3. උතුරුපස්නා තනතුර (මහබෝ මඟුලෙහි රන් ධජ, රිදී ධජ ආදිය නැංවීම සඳහා), 4. මහවෙළදනා (සුවඳ දුම් දීම, සුවඳ දුම් ඇල්ලීමට), 5. මහ බෝ රැකිනා (දුනු හී ගෙන බෝධියට බැසිය හැකි කපුටන් ආදී සතුන් එළවීම), 6. සරස්නා (කුඩ ඉහිලීමේ තනතුර), 7. කිලිගුණ (අලූත් මල් සැපයීමේ තනතුර), 8. කපුනා (ලද පස්මල් සැපයීම), 9. දොරනා (මහබෝගෙයි දොරටුවෙහි ආරක්ෂා කටයුතු), 10. පෙහෙරකරුණා (පෙරහන්කඩ හා නූල් සැපයීම), 11. කුඹල් කරුණා (පාත‍්‍රා භාජනාදිය සැපයීම), 12. මල් කරුණා (මල් දම්, මල් වඩම් සැපයීම), 13. ගඳ කරුණා (සුවඳ ද්‍රව්‍ය සැපයීම), 14. මහසීනා (ධජ පතාක සැපයීම), 15. මුළුරැකිනා (පූජාව සඳහා බත් සැපයීම), 16. කඹුරුනා (කතුරු, කියත්පත් කරවීම), 17. ලෝකුරුනා (රන් රිදී කැටපත් සැපයීම), 18. අටතෙලීනා (රන් වැට, රිදී වැට හා රන් වළන් සැපයීම), 19. ඇදුරුනා (වියන් මඩුළු, රුවන් මඩුළු කරවන්නා), 20. මුදුන්තවරුනා (වියන් කරවා දීම), 21. පළවානා (හේවිසි පූජා පැවැත්වීම), 22. සත්කරුණා (සේසත් කරවාදීම), 23. උයන් ගොවුණා (මල් රුක් රෝපණ කරවීම), 24. පෙරහර බීසෝ (පැන් වැඞීම) ආදී වශයෙනි.බෝධීන් වහන්සේ රැුකගැනීමට ඉතා හොඳින් පලපුරුදු මේ අය එකළ ලංකාවට එවීම එක් අතකින් ආගමික වශයෙනුත් අනෙක් අතින් සාමාජීය වශයෙනුත් ඉතා වැදගත් ක‍්‍රියාවක් සේ පෙන්වා දිය හැකිය. මහා වංශයෙහි දැක්වෙන ආකාරයට බෝධි ගුප්ත කුමාරයා ප‍්‍රධාන වංශවත් කුලවලින් ද මෙරටට පැමිණ තිබෙන්නේ බෝධි ආගමනයත් සමගිනි.

ස`ගමිත් තෙරණියගේ වැඩමවීමෙන් සිදුවූ වැදගත්ම කටයුත්තක් නම් මෙහෙණි සස්න පිහිටුවීමයි. මේ වන විට භික්ෂු සාසනය ආරම්භ කර තිබුණ නමුත් භික්ෂූනී සාසනය ආරම්භ කර නොතිබුණි. එහෙත් පැවිදි වීමට කැමැත්ත පලකළ කාන්තාවන් එකළ ලක්දිව සිටියහ. ඒ් අනුව සංඝමිත්තා තෙරණිය ඇතුළු රහත් මෙහෙණින් වහන්සේ ලා ලංකාවට වැඩම කරවනු ලබන්නේ. හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, ආදී රහත් මෙහෙණින් වහන්සේ ලා මෙම පිරිසට ඇතුළත් වූ අතර එම භික්ෂුනීන් වහන්සේ ලා ලක්දිව භික්ෂුනී සසුන ආරම්භ කරන්නට මූලික වූහ. අනුලා බිසව ඇතුළු දහසක් කාන්තාවෝ ඒ අනුව පැවිදි බිමට පත්ව රහත් වූ බව දීපවංශය ආදී වංශකතාවල සඳහන් වේ.

පූජ්‍ය පරවාහැර චන්දරතන හිමි
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය – ප‍්‍රංශය



235 Viewers