• Home »
  • Sinhala Articles »
  • ‘වනසිංහ’ තාත්තයි-පුතයි හමුදා ඉතිහාසය වෙනස් කරයි..

‘වනසිංහ’ තාත්තයි-පුතයි හමුදා ඉතිහාසය වෙනස් කරයි..

හමුදා ඉතිහාසයේ හිටපු යුද හමුදාපතිවරයකුගේ පුතකු මේජර් ජෙනරාල් ධූරය දක්වා උසස්වීම ලැබ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වූ පළමු සහ එකම අවස්ථාව ලෙස අද දිනය ඉතිහාසගත වේ…!

අප කිසිවකුත් නොදැන වනසිංහ පවුල මේ මවුබිම වෙනුවෙන් කර තිබෙන ඒ කැපකිරීම සුළුපටු දෙයක් නොවේ. මෙරට බොහෝ දෙනකු නොදන්නා  ඉතා සංවේදී කාරණාව, එනම් ලංකාවේ මෙතෙක් කිසිදු හමුදා නායකයකුට හෝ ඔහුගේ පවුලට, ඥාති වර්ගයාට නොසිදුවූ තරමේ ජීවිත අහිමිවීම් හා පීඩා, යුද්ධය නිසා වනසිංහ පවුලට සිදුව තිබීමයි. මේ පවුලේ තරුණ ඥාති පුතුන් 03න් දෙනකුම යුද විරුවන් ලෙස උතුරු යුද බිමේදී දිවි පුදා තිබේ.

සති හතරක් අලිමංකඩ කඳවුර රැකගෙන සිට ඒ අලිමංකඩ සටනේදී මියගිය භාතිය ජයතිලක හා යාල්දේවී මෙහෙයුමේදී මියගිය නලින් ජයතිලකය. ජෙනරාල් හැමිල්ටන් වනසිංහයන්ගේ එකම සොහොයුරාගේ පුතා වූ පණ්ඩුක වනසිංහද පුනරින් කඳවුර බේරා ගැනීමේ සටනේදී දිවි පිදුවේය.

හැමිල්ටන් වනසිංහ සෙන්පතියා විසින් ආධුනික කැඩේට් නිලධාරියෙකු ලෙස  තම වැඩිමහල් පුතුණුවන් වන සංජය වනසිංහ මහතාව මව් බිම වෙනුවෙන් යුද හමුදාවට භාර කෙරුණේ උතුරේ මෙන්ම දකුණේද යුද ගිනි දැල් ඇවිලෙන දෙකොණ විලක්කුවක් බවට පත්ව තිබූ  සමයේදීයි.

සංජය වනසිංහ මහතා වෙත ඊට අදාළ නිල පැවරීම පවා සිදු කරනුයේ පියා වන යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ මහතා විසින්මය.

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ ශ්‍රී ලංකා හමුදාවේ 11 වන යුද්ධ හමුදාධිපතිවරයායි. ඔහු ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්‍ෂක ලේකම් ලෙස ද කටයුතු කර ඇත. යුද හමුදාපති පදවියට පත් 1988 වැනි අවධියේ සිටම ඒ වෙනුවෙන් යුද හමුදාව තුළ නිර්මාණාත්මක, ගුණාත්මක මෙන්ම සාධනීය පියවර තැබූ මිනිසෙකි. හමුදාවට ස්නයිපර් බළකාය හඳුන්වා දුන්නේද ජෙනරාල් හැමිල්ටන් වනසිංහයන්ය. ‘ස්නයිපර්’ වෙඩික්කරුවන් හඳුන්වා දීම 2009 අවසන් මානුෂික මෙහෙයුම සඳහා කොයි තරම් දුරට බලපෑවාදැයි කිවහොත් ජයග්‍රාහී වන්නි සටන නිමා වන විට ස්නයිපර් වෙඩික්කරුවන් විසින් එල්ටීටීඊ කොටි ඉලක්ක 2700ක් වැනි විශාල ප්‍රමාණයක් සපුරා ගෙන තිබිණ. පුදුමයකට මෙන් අවසන් ජයග්‍රාහී යුද්ධයේ ඉතා වටිනා සම්පතක් වූ 90ක් පමණ සීමිත ස්නයිපර් භට කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කර තිබුණේ එහි නිර්මාතෘ ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ පුතා වන එවකට ලුතිනන් කර්නල් අද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි  ධූරයෙන් පිදුම් ලැබූ  මේජර් ජෙනරාල් සංජය වනසිංහ රණ විරුවාය.

රටේ සේනාවිධායකවරයා ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා විසින් මෙම ශ්‍රේෂ්ඨ රණවිරු පවුල වෙත පිරිනැමූ උපරිම  ගෞරවය, විශ්‍රාම සුවය ගෙවන ජෙනරාල් වනසිංහයන්ට තම පුතුගේ අලුත්ම ජයග්‍රහණය පිළිබඳ ඇති වන ප්‍රීතිමත් පීතෘ හැඟීම කෙබඳු එකක් වනු ඇති ද?



93 Viewers