වැඩිම ප්‍රමාණයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එකවර වනසා සමස්ත ජාතිය වෙනුවෙන් දිවි දුන් ජාතික වීරයා
මුහුදු කොටින්ගේ ප්‍රධාන බළකොටුව වු මුලතිව් නගරය වසර 13 කට පසුව මුදවා ගත්තේ වර්ෂ 2009 ජනවාරි මස 25 වනදාය .
59 වන සේනාංකය බ්‍රිගේඩියර් නන්දන උඩවත්ත යටතේ වු ලුතිනන් කර්නල් ජයන්ත ගුණරත්නට අයත් 593 බළ සේනාවට අයත් 07 වන ගැමුණු හේවා බළ ඇණියේ භටයන් එදා උපක්‍රමශීලිව එල්ල ප්‍රහාරයෙන් මුලතිව් නගරය එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හට අහිමි විය .
ලුතිනන් කර්නල් චමින්ද ළමාහේවා 07 වන ගැමුණු හේවා බළ ඇණියට මේ වන විට අණ දුන්නේය. ඔහුගේ අණ දීම යටතේ මුලතිව් නගරය අල්ලා ගත් පිරිස් වලට මීළග ලද අභියෝගය වුයේ නන්දිකඩාල් කලපුවේ බටහිර දෙසින් පුදුකුඩිඉරිප්පු දෙසට මෙහෙයුමකට සහභාගී වීමය . 59 වන සේනාංකයේ සිටි ප්‍රහාරාත්මක බළ ඇණියක් ලෙස නම් දරා සිටි මෙම පාබල බළ ඇණියට මෙම ඉලක්කය ලැබුණි .
ඒ අනුව 2009 ජනවාරි 31 වනදා එම ප්‍රදේශය වෙත භට පිරිස් රැගෙන යාමට අණ දෙන නිලධාරියාට සිදු විය. 19 වන ගැමුණු හේවා බළ ඇණිය ස්ථානගත වී සිටි ප්‍රදේශය භාර ගැනීමට මෙම භට පිරිස් වලට සිදු විය .රාත්‍රී 7.30 පමණ වන විට භට පිරිස් සියල්ල ස්ථානගත කෙරිණි . අලුතින් භාරගත් ප්‍රදේශයේ ස්ථානගත වෙමින් සිටියදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ මහ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණි .
මේ වන විට හිඩැස් අතරින් ඉතා සුක්ෂම ලෙස කොටි කණ්‌ඩායම් හමුදා පාලන ප්‍රදේශයට රිංගා ගෙන සිටියහ .මේ හිඩැස් කල් තියා හඳුනා ගත් හමුදාපතිවරයා එම හිඩැස් පුරවන්නැයි 59 වන සේනාංකාධිපතිවරයාට දන්වා තිබුණි.
කොටි නායකයන්ගේ සැලසුම වුයේ හමුදා ආරක්ෂක වළල්ලට පහර දෙන අතරේ ඇතුළතින් කුඩා කණ්ඩායම් හා නන්දිකඩාල් කලපුවෙන් බෝට්ටු යොදවා පහර දීමයි .
” ඩු ඕර් ඩයි ” ( කරපන් නැත්නම් මැරියන් )
ක්‍රමයට ජයසිකුරු මෙහෙයුමේ කළ අයුරින් පහර දී පෙබරවාරි 04 වැනිදාට මුලතිව් හී ඊළාම් කොඩිය යළි එසවීමටත් ඕඩ්ඩුසුඩාන් දක්වා හමුදාව පසු බැස්සවීමත් එල්ටීටීඊ වෑයම විය .
පෙබරවාරි 01 වනදා කොටින්ගේ සැලසුම ක්‍රියාත්මක වු දිනය විය .මරාගෙන මැරෙන බෝම්බ කරවුන් ( Black tigers – කළු කොටි ) හා වාහනද සටනට කැඳවා තිබුණි .
වර්ෂ 2009 ක් වු පෙබරවාරි මස 01 වනදා අලුයම 5.30 ට පමණ හමුදා ආරක්ෂක වළල්ල වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය .07 වන ගැමුණු හේවා බළ ඇණිය කපිතාන් යු.එස් .අරංගල්ල යටතේ වු ඩෙල්ටා කණ්ඩායම නන්දිකඩාල් කලපුව දෙසින් ස්ථානගත වී සිටියහ.
මුහුදු කොටි නායක සුසෙයි යටතේ යෙදු බෝට්ටු මගින් කළපුව ඔස්සේ පැමිණි එල්ටීටීඊ ත්‍රස්තයන් හමුදා භට කණ්ඩායම් දෙසට පහර දෙන්නට වුහ .කොටි ප්‍රහාරයට සාර්ථක ලෙස මුහුණ දුන් භට පිරිස් සිය උපරිම වෙඩි බලය යොදවා පහර දෙන්නට විය .සිව්වන ඊළාම් යුද්ධයේ ආරම්භයේ පටන් සටන් බිමේ හොදින් තෙම්පරාදු වු භට පිරිස් වලින් සමන්විත වු මෙම රෙජිමේන්තුවේ භටයින් එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ නොසැලී සටන් කළහ .එල්ටීටීඊ මෝටාර් ප්‍රහාර ද අඛණ්‌ඩව එල්ල වන්නට විය .මේ අතරවාරයේ තුවාල භටයන් පසු පසට යවන්නට ඩෙල්ටා කණ්ඩායම් අණ දෙන නිලධාරී කපිතාන් අරංගල්ල කටයුතු කළේය.
අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් චමින්ද ළමාහේවා තම කණ්ඩායම් සියල්ල මෙහෙයවීමෙන් සටනට අවශ්‍ය නායකත්වය ලබා දුන්හ.
තම තුවාල ලද සෙබළුන් දෙවන ආරක්ෂක වළල්ල වෙත යැවු කපිතාන් අරංගල්ලට අවසන් සටනට ඉතිරිව සිටියේ සෙබළුන් 20 ක් පමණි .
දහවල් 12. 30 පමණ වන විට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 38 ක් පමණ මරා දමන්නට මේ වීරෝදාර රණවිරුවන්ට හැකි විය .
” සර් කොටි බුරුතු පිටින් අපි ඉස්සර මැරිලා වැටිලා ඉන්නවා .මේවා එකතු කරන්න කට්ටිය එවන්න ” යනුවෙන් භට කණ්ඩායම් වරෙක අණ දෙන නිලධාරියාට දැන්විය .
අඛණ්‌ඩව සටන් කරමින් සිටි මෙම භට පිරිස් වෙත දහවල් 12 .30 පමණ වන විට කොටින්ගේ මිලී මීටර් 122 කාලතුවක්කු ප්‍රහාර සහ මිලි මීටර් 120 මෝටාර් ප්‍රහාර එල්ල වන්නට විය.
කපිතාන් අරංගල්ල ඇතුළු කණ්ඩායම ස්ථානගත වී සිටි අනුඛණ්ඩය වෙත එකවරම කාලතුවක්කු හා මෝටාර් උණ්ඩ 08 ක් පමණ පතිත විය .
මින් ඩෙල්ටා කණ්ඩායම් අණ දෙන නිලධාරී කපිතාන් අරංගල්ල, සැරයන් මේජර් විජේසිංහ ,ඛණ්ඩභාර නිලධාරී ප්‍රේමකුමාර ඇතුළු 14 ක් මෙහිදී තුවාල ලදහ .වීරෝදාර රණවිරුවන් 03 දෙනෙක් සමස්ත ජාතිය වෙනුවෙන්ම තම වටිනා ජීවිතය පුජා කොට තිබුණි .
මෙම ප්‍රහාරයෙන් පසුව බේරී සිටියේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය ක්‍රිය කරවන ලාන්ස් කෝප්‍රල් ප්‍රේමකුමාර සහ ඩෙල්ටා කණ්ඩායමේ අවි ගබඩාව භාරව සිටි කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර පමණි .අනිත් පිරිස තුවාල ලබා තිබුණි .ඒ මොහොතේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් කථා කළ චාලි කණ්ඩායමේ ඛණ්ඩ භාර නිළධාරී ඩිංගිරි බණ්ඩා
” සර් ලයින් එක අනිත් පැත්තෙන් පස්සට අරන් ,අපි අරගමු ” යනුවෙන් කපිතාන් අරංගල්ල හට පැවසීය .
මේ මොහොතේ කපිතාන් අරංගල්ල ගේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ බැටරි බැස තිබු නිසා පිටතින් කථා කරන දෙයක් ඇසෙනවා ඇරෙත් ,හට කිසිවෙක්ට කථා කිරීමට නොහැකි විය .මේ වන විට කපිතාන් අරංගල්ල ඇතුලු පිරිස තුවාල ලැබුවත් පැයක් පමණ අඛණ්‌ඩව සටන් කළේ තුවාල වලටද ප්‍රතිකාර පවා නොමැති වටපිටාවකය .ඒ අතරත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ විය.
වහාම තුවාල කරුවන් පසුපසට ගනිමුයි කපිතාන් අරංගල්ල දුන් නියෝගයට අනුව තුවාල කරුවන් පසුපස ආරක්ෂක වළල්ලට යැවිණි . තුවාලකරුවන් රැගෙන යා යුතු නිසා මෙහි වු ඩෙල්ටා කණ්ඩායමේ ආයුධ ගබඩාව සහ මිගගිය සගයන්ගේ සිරුරු පසුපසට ගැනීම බරපතළ ගැටළුවක් විය .මේ මොහොත වන විට සෑම ස්ථානයකම සටන් ඇවිලී සැපයුම් මාර්ග සහ පණිවිඩ හුවමාරු අඩාල වී තිබු නිසා අතිරේක භට පිරිස් යැවීම ද අසීරු විය .
තුවාලකරුවන් පසුපසට යැවු කපිතාන් අරංගල්ල අවි ගබඩාව භාරව සිටි කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාරට ” අපි යමු ” යැයි පැවසුවද ඔහු එයට කැමැත්තක් නොදැක්විය .
” සර්ලා තුවාල අය ඔක්කෝම පස්සට ගන්න .මං මුන් එකෙකුටවත් එන්නවත් ,අපේ ආයුධ ගෙනියන්නවත් ඉතිරි කරන්නේ නෑ .මං මුං මරාගෙන මැරෙනවා ”
යනුවෙන් කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර කපිතාන් අරංගල්ලට පෙරලා පැවසීය .එවිට පෙරලා පිළිතුරක් දුන් කපිතාන් අරංගල්ල
” අපි දැන් කොහොමහරි පස්සට යමු .පස්සේ ඇවිල්ලා මුන්ගෙන් පලිය ගමු ” යනුවෙන් කපිතාන් අරංගල්ල පැවසුවද කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර ඊට එකග වුයේ නැත .
” මං එන්නේ නෑ .සර් කට්ටිය පස්සට ගන්න මම මුන් ඔක්කොම මරාගෙන මැරෙනවා ” යනුවෙන් කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර පැවසීය කෝප වන්නට හෝ කම්පා වන්නට කාලයක් නොමැත මීළග නිමේෂය තුල කුමකින් කුමක් වේදැයි අවිනිශ්චිත මොහොතක කපිතාන් අරංගල්ල තමා යටතේ වු සටන්කාමී කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර දමා එන්නේ සිතකින් නොවේ තුවාල වු සහෝදර සෙබළුන් සමගින් කපිතාන් අරංගල්ල පසු පසට යන්නට මද වෙලාවක් තුල මිනිසෙක් හට ජීවිතයේ ගත හැකී අසීරු තීරණයක් මත පිහිටා ලාන්ස් කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර නම් අභීත රණවිරුවා තම උදරයේ අධි බලැති ක්ලේමෝ බෝම්බ වැලක් සගවාගෙන වේගයෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් අතරට පැන්නා පමණි .මහා හෙණ හඬක් මැද සිදුවු විශාල පිපිරීමෙන් එල්ටීටීඊ ත්‍රස්ත මළ සිරුරු කඳු ගැසුණි .ස්වභාව ධර්මයද නිසොල්මනේ තබමින්
තම මවට මෙන් බැති පෙමින් ලක් මවට ආදරය කළ දරුවෙකු ගේ ලෝහිත රුධිරය මුලතිව් පොළොව නැහැවී ගියේය .
තම සහෝදර මියගිය සගයන් තිදෙනාගේ සිරුරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අතට පත් වීමටත් , අවි ගබඩාවේ වු ආර්පීජී ,ක්ලේමෝ ඇතුළු අවි ආයුධ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අතට පත්වීමටත් ඉඩ නොතැබු 59 වන සේනාංකයේ 593 බළ සේනාවේ 07 වන ගැමුණු හේවා බළ ඇණියේ කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර නම් වීරෝධාර රණවිරුවා කොටි ත්‍රස්‌තවාදීන් ප්‍රදේශයට කඩා වදිද්දී ක්ලේමෝ බෝම්බ එකට අටවාගෙන කොටි ත්‍රස්‌තවාදීන් සමගම මරාගෙන මැරුණේ දේශමාමක ජාතික විරුවෙකුගේ වීරත්වයේ මතකයක් අප සියල්ලන්ම ඉදිරියේ රන් අකුරින් ලියා තබමිනි …
එකවර වැඩිම ප්‍රමාණයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් වනසා සමස්තෙ ජාතිය වෙනුවෙන් දිවි දුන් රණවිරුවා ලෙසට 07 වන ගැමුණු හේවා බළ ඇණියේ කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර ඉතිහාසයකට එක් වේ .
රමේෂ් හසන්ත
26 Viewers





