• Home »
  • Sinhala Articles »
  • විග්නේශ්වරන්ගෙ කතාව වාරණය කළ යුතු නැහැ

විග්නේශ්වරන්ගෙ කතාව වාරණය කළ යුතු නැහැ

https://www.facebook.com/jayasumanachanna/posts/2848723535452372

ආචාර්ය ස්ටැන්ලි ජෙයරාජා තම්බයියාගෙ Buddhism Betrayed කියන පොත එලි දැක්වුණේ 1992 දි. මේ පොත ප්‍රකාෂයට පත් කළ අවස්ථාවෙ රට තුළ ඒ ගැන සෑහෙන සංවාදයක් ඇතිවුණා. මේ ගැන අදහස් දැක්වූ බොහෝ දෙනා ඒ අවස්ථාවෙ කියා සිටියෙ ඒ පොත ලංකාව තුළ තහනම් කළ යුතුය කියන එක. නමුත් ඊට සපුරා විරුද්ධ මතයක් දැරූ පූජ්‍ය බෙංගමුවේ නාලක හාමුදුරුවො සහ නලීන් ද සිල්ව මහත්මය කියා සිටියෙ ඒ පොත හැකි නම් සිංහළට පරිවර්ථනය කර සිංහළ මිනිස්සුන්ටත් එය කියැවීමට සැළැස්විය යුතුය කියන එක.

විග්නේශ්වරන්ගෙ පාර්ලිමේන්තු කතාව සම්බන්ධයෙනුත් ගත යුත්තේ එවැනි එලඹුමක්. ඒ කතාව හැන්සාර්ඩ් එකෙන් ඉවත් කළ යුතු නැහැ. හැන්සාර්ඩ් එක කියන්නෙ පාසල් විෂය නිර්දේශය නෙමේනෙ. එහෙම කුණුහරුප ළමයින්ට උගන්වන්නෙ නැත්නම් එච්චරයි. විය යුත්තේ විග්නේෂ්වරන්ගේ කතාවට ‘කණ පැලෙන්න’ පිළිතුරක් දෙන එක. කෙටියෙන් නමුත් එහෙම පිළිතුරක් චන්න ජයසුමන දීල තියෙනව. ඒකට සබැඳිය පහතින් තියෙනව (සරත් වීරසේකර මහත්මයත් පිළිතුරක් දුන් බව ඇසුණත් තවම ඒක දැක්කෙ නැහැ).

විග්නේශ්වරන්ට දෙන්න අමුතුවෙන් පිළිතුරු හදන්න දෙයක් නැහැ. එතුම මේ මතු කරන්නෙ මීට කලින් පිළිතුරු දීල හම ගහල ගත්ත ප්‍රශ්ණ. ඊළාම් බෙදුම්වාදය මතවාදීමය වශයෙන් පරාජය කෙරුණෙ නන්දිකඩාල් ජයග්‍රහණයට සෑහෙන කාලයකට කලින්. නලීන් ද සිල්ව මහත්මයගෙ පරණ කාලය වෙබ් අඩවියට ගියා නම් ඒ මැච් එකේ හයිලයිට්ස් බලා ගන්න පුළුවන්. විග්නේශ්වරන් ආපහු මේ ගහන්න හදන්නෙ පැරදුණු මැච් එකක්. තව කොච්චර ගැහුවත් ඕක ඩක්වර්ත් ලුවිස්ටවත් ගොඩ දාන්න නම් බැහැ. ඒ නිසා කිසිම හේතුවක් මත විග්නේශ්වරන්ගෙ කතාව වාරණය කළ යුතු නැහැ. කළ යුත්තේ ඔහුට යළි යළිත් පිළිතුරු දී ඔහුව නැවත නැවතත් පරාජය කරන එක.

Buddhism Betrayed පොතේ පිටකවරය ගැනත් කිව යුතු දෙයක් තියෙනව. මේ පිටකවරෙ තියෙන්නෙ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගෙ විකෘති කරන ලද පින්තූරයක් (සෝභිත හාමුදුරුවො විජාතික කඳවුරට අවතැන් වෙන්න කලින් උන්වහන්සෙ හිටියෙ ජාතිකත්ව කඳවුරේ). කොහොමහරි උන් වහන්සෙ මේ විකෘති කරන ලද පින්තූරය ගැන මහාචාර්ය ස්ටැන්ලි තම්බයියගෙන් පසු කලෙක අහල තියෙනව. ඒ අවස්ථාවෙදි ඔහු මෙවන් විකෘති කරන ලද පින්තූරයක් කවරයට යොදා ගැනීම ගැන උන්වහන්සෙට තම කණගා‍ටුව ප්‍රකාෂ කරල තියෙනව. මෙතන වඩාත් විශ්මයජනක කරුණ ඒ ගැන ආචාර්ය තම්බයිය කරල තිබෙන පැහැදිළි කිරීම. ඊට අනුව මේ පොත ලියුවෙ ඔහු වුණාට මේ පොතේ කවරෙට දාන්නෙ මොකක්ද කියන එක ගැන ඔහු දැනගෙන ඉඳල නැහැ!! ඒක තීරණය කරල තියෙන්නෙ පොතේ ප්‍රකාෂකය.

නාමල් උඩලමත්ත



43 Viewers