විජිත හේරත් කියන “ශිෂ්ට සමාජය” සහ උතුරු සහ නැගෙනහිර භූමියේ ඇත්ත යථාර්ථය: කොළඹ වේදිකාවේ සහජීවන කතා මැද, උතුරේ තිස්ස විහාරයට අදත් බාධා: රජයේ නිහඬතාව පිටුපස ඇති බෙදුම්වාදී දේශපාලනය කුමක්ද?
“පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය අවුළුවමින් රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇතැයි ද, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත්” විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඊයේ (28) කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයේදී පැවැති සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමයේ (All Ceylon YMMA Conference) 76 වැනි සංවත්සර මහා සභාව අමතමින් අවධාරණය කළේය.
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය කඩදාසියට හෝ වේදිකාවට පමණක් සීමා නොවී, භූමියේ යථාර්ථයක් බවට පත් කිරීම වත්මන් මාලිමා රජය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයයි. නමුත් ඩයස්පෝරා බලපෑම් හමුවේ රජය ක්‍රියාකරන්නේ ඇස් වසාගෙනය.
මන්ද, කොළඹින් ඇසෙන මෙවැනි ප්‍රගතිශීලී ප්‍රකාශ සහ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් දිනපතා වාර්තා වන සිදුවීම් අතර පවතින්නේ විශාල පරස්පරතාවයකි. යාපනය කන්කසන්තුරේ (KKS) තිස්ස රජමහා විහාරය අබියස අද දිනයේත් සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය මෙයට කදිම උදාහරණයකි.
මෙවැනි සිදුවීම් පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය දැනුවත් වුවද, ඔවුන් බලයට පත් කිරීමට තීරණාත්මක සාධකයක් වූ දෙමළ ඩයස්පෝරාව ඇතුළු සුළුතර ප්‍රජාවන්ගේ දේශපාලන බලපෑම් හමුවේ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න බවට වූ සාධාරණ සැකය මහා ජාතිය වන සිංහල බෞද්ධ ජනතාවට තුළ මතු වී ඇත.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහන සංයුතිය දෙස බැලීමේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සිංහල ප්‍රජාව නියෝජනය කරන්නේ සුළුතරයකි. දිවයිනේ සෙසු පළාත්වල වෙසෙන, විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් සුළුතර ප්‍රජාවන්ට හිමිවන ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික සහ ආර්ථික නිදහස මෙන්ම අනෙකුත් අයිතිවාසිකම් සහ සමාන අවස්ථා, උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත්වන සිංහල ජනතාවට ද එලෙසම හිමිවිය යුතුය යන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික සිද්ධාන්තයකි.
නමුත්, සිංහල ජනයා අඩු පිරිසක් වෙසෙන ප්‍රදේශවල පිහිටි ආගමික හා ඓතිහාසික ස්ථාන ඉලක්ක කරගනිමින්, දෙමළ බෙදුම්වාදී අන්තවාදීන් විසින් අඛණ්ඩව සිදුකරනු ලබන බාධා කිරීම් සහ උද්ඝෝෂණ රටේ සාමකාමී සහජීවනයට දැඩි තර්ජනයකි. ආගමික නිදහස සහ සංස්කෘතික උරුමයන් රැකගැනීමේ අයිතිය සැමට පොදු විය යුතුය.
මෙවැනි අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය තුළ නැවතත් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඉස්මතු වීමට මඟ පාදන බැවින්, ජනාධිපතිවරයා සහ ඇමාත්‍යවරුන් වේදිකාවේ ප්‍රකාශ කරන “ශිෂ්ට සම්පන්න සමාජය” ප්‍රායෝගිකව තහවුරු කිරීමට රජය වහාම මැදිහත් විය යුතුය.
දුලාර ගුණතිලක
කැදවුම්කරු
සිංහල සංවිධාන එකමුතුව
2026.06.29
076 648 3664
6 Viewers





