විරු ප්‍රභා පුදලබන දම්රද විරු පුතුන්

සෙංකඩගල පුරවරයේ අක්කර 54ක භූමි භාගයකින් පිරුණු මහනුවර ධර්මරාජය දළදා සමිඳුන් පේන මානයේ පිහිටා තිබීම නිසාම එහි වටිනාකම තක්සේරු කළ නොහැකි තරම් ය. එදා මෙදාතුර රට දැයට දායාද කළ උගතුන්, වියතුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් මෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන් මෙපමණක් යැයි ද කිව නොහැකිය.
ශ්‍රීමත් හෙන්රි ඕල්කට් විසින් 1887 ආරම්භ කරනු ලැබූ ධර්මරාජයට ඇත්තේ ද දීර්ඝ ඉතිහාසයකි. රටේ ප්‍රධානතම බෞද්ධ පාසල්වලින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ධර්මරාජය බුදුන් වහන්සේගේ නමින්ම නම්කර තිබීම ම ධර්මරාජයට වාසනාවකි. ඕල්කට්තුමන් 1887දී මහනුවරට ගොස් සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ ධර්මරාජයේ ප්‍රථම විදුහල්පතිවරයා වූයේ අන්දිරිස් ද සිල්වාය. පාසලේ එකම ගුරුවරයා වූ ඔහු ඉගැන්වූයේ සිසුන් 12 දෙනකුටය. 1890 වනවිට වඩාත් සුදුසුකම්ලත් විදුහල්පතිවරයකුගේ අවශ්‍යතාව මත ශ්‍රීමත් ජයතිලක විදුහල්පති විය.
ධර්මරාජයේ ස්වර්ණමය යුගය ආරම්භ වූයේ 1902 දී කේ. එෆ්. බිලිමොරියා විදුහල්පති ධුරයට පත්වීමත් සමගය. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයා දෙවතාවක්ම ධර්මරාජයේ බාලදක්ෂ කටයුතු නිරීක්ෂණයට ද ගොස් තිබුණේ එතුමන් නිසාමය. ආදි ධර්මරාජියන් අතර ඉහළම නිලයට උරුමකම ඇත්තේ ලංකාවේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව මහතාටය. එතුමා ශ්‍රී ලංකාවේ අවසන් ආණ්ඩුකාරවරයා ද විය. අද වනවිට සිසුන් හාරදහසකින් සහ ගුරුමව් පියවරුන් තුන්සියයකින් විදුහල ශක්තිමත් වී තිබේ.
ඕල්කට් පාසල්වල දරුවන් වූ අපේ පාසලේ සිසුන්ට රට ජාතිය ආගම ගැන අලුතෙන් පාඩම් කියාදෙන්නට ඕනෑ වුණේ නැත. ධර්මරාජයේ ගේට්ටුව ඇතුළට ගිය සියල්ලන්ම යළි එළියට ආවේ සිංහල බෞද්ධකමත් රටත්, ජාතියත් මුදුන්මල්කඩේ තබාගෙනය. ඒ ධර්මරාජයේ හැටිය.
ධර්මරාජයෙන් ලාංකීය කලාකෙත පෝෂණය කිරීමට දායාද කළ සංඛ්‍යාව මෙතෙකැයි කිව නොහැකි තරම්ය. එය ලාංකීය පාසලකින් බිහිකළ වැඩිම කලාකරුවන් සංඛ්‍යාව යැයි කීවොත් අතිශෝක්තියක් ද නොවනු ඇත.
ඒ අතරින් ද ධර්මසේන පතිරාජ, අමරසිරි කලංසූරිය, කේ. ඩී. කේ. ධර්මවර්ධන, කීර්ති පැස්කුවල්, කපිල කුමාර කාලිංග, දයා තෙන්නකෝන්ලා පෙරමුණේම සිටිති. මේ නම් ලැයිස්තුව තවත් බෙහෝ දිගය.
මහනුවර නගරයේ පිහිටි යුද හමුදා කඳවුරු කීපයක්ම විදුහල පෙනෙන මානයේ පිහිටා තිබීම නිසාම ඒවායේ සෙබළුන්ගේ සපත්තු ගැටෙන හඬ, පෙළපාළි, සරඹ සංදර්ශන, සන්නාහ සන්නද්ධ රථ නිරන්තරයෙන්ම නෙත ගැටෙන නිසා බොහෝ සිසුන් ආරක්ෂක හමුදා සේවය තෝරාගනු ලැබුවේ රස්සාවක් වශයෙන්ම නොව සේවාවක් වශයෙන් උපන් රටට සේවය කිරීමටය.
විදුහල ආරම්භ කාලයේ සිටම සිසුන් ආරක්ෂක හමුදා සේවයට බැඳුන ද එය දෙගුණ තෙගුණ වූයේ පසුගිය තිස් අවුරුදු යුද සමයේය. ඒ අනුව යුද, නාවික, ගුවන් සහ පොලිසිය වෙත බැඳුණු සංඛ්‍යාව දහසකට ආසන්නය. රට දැය සමය වෙනුවෙන් තම තරුණ ජීවිත කැප කර අවාසනාවන්ත ලෙස මියගිය දම්රද විරුවන් සංඛ්‍යාවද 36ක් පමණ වේ.
ඉතින් රට වෙනුවෙන් මිල කළ නොහැකි අමිල සේවාවක් ඉටුකර විශ්‍රාම සුවයෙන් පසුවන සහ තවමත් සක්‍රිය සේවයේ නියුතු ඒ දම්රද විරුවන් අප කෙසේනම් අමතක කරමුද, ඒ නිසාම තමයි ධර්මරාජ විදුහල් කොළඹ ආදි ශිෂ්‍ය සංගමය මෙම විරුවන් ඇගයීමට, ඔවුන්ට ප්‍රණාමය පිදුමට අගනා උත්සවයක් මේ මස 21 දින අත්තිඩියේ ගුවන් හමුදාවට අයත් EAGALS LAKESIDE හි පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන්නේ.
දශක පහක් පමණ අධික කාලයක් පුරාවට ත්‍රිවිධ හමුදාවේ සේවයේ විශ්‍රාමික සහ සේවයේ නියුතු දහසකට ආසන්න දම්රද විරුවන් හට ජීවිත කාලයේදී එක් වරක් පමණක් ලැබෙන ‘ධර්මරාජ ප්‍රභූමණී’ වීර පදක්කමෙන් මොහු පිදුම් ලබති. හමුදා මානුෂීය ක්‍රියාන්විත මෙහෙයුම්වලදී සේම ජාතික ස්වභාවික විපත් සහ ව්‍යසනවලදී දිවි පරදුවට තබා කළ සේවාවන් ඇගයීමට වස් ඔහුත් මේ සම්මානයෙන් පිදුම් ලබනවා. තමන්ගේ දෙවැනි මව් ලෙස සැලකෙන තමන් සිප්සතර හැදෑරූ විදු මාතාවගෙන් ලැබෙන සම්මානයට වඩා තවත් යමක් ඇත්දැයි ඔවුන්ට සිතෙනු ඇත.
පසුගිය උතුරු නැඟෙනහිර ක්‍රියාන්විතවලදී මේ විරුවන් කළ සේවය කිසිසේත්ම අමතක කළ නොහැකි සේම පසුගියදා ඇතිවූ දිට්වා ආපදා තත්ත්වයේදී ජනතාව වෙනුවෙන් ඒ කළ උදාර සේවය ද අමතක කළ නොහැකිය.
මෙම උළෙලින් යම් මුදලක් ලැබෙන්නේ ද එය දිට්වා කුණාටුව නිසා හානි වූ විද්‍යාලයීය ගොඩනැඟිලි පිළිසකර කිරීමට යෙදවීමට සැලසුම් කිරීමට කොළඹ ආදි ශිෂ්‍ය සංගමය විදුහල වෙනුවෙන් ගත් වටිනා තීරණයකි.
ධර්මරාජයෙන් බිහිකළ ගුවන් හමුදාපතිවරයකු වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරිවරු සහ පොලිස් නිලධාරීන් පිරිසක් ද හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් චන්දන වික්‍රමසිංහ ඇතුළු මේජර් ජනරාල්වරුන් තිස්දෙනෙකු, බ්‍රිගේඩියර්වරු විශාල පිරිසක්ද, නාවික හමුදාවේ හිටපු රියර් අද්මිරාල් ලක්‍ෂ්මන් ඉලංගකෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙහිදී සම්මානයට පාත්‍ර වේ. සමස්ත සංඛ්‍යාව දහසකට ආසන්න වීම සුවිශේෂය.
මෙම විරුවන් අතර තවත් විශේෂත්වයක් ද තිබේ. එය ලංකාවේ හෝ වෙනත් රටක සිදු නොවුණු අහම්බයකි. එකම පාසලක, එකම පංතියක සම වයසේ යුද හමුදා මේජර් ජනරාල්වරු පස් දෙනකු සහ ගුවන් හමුදාපතිවරයකු බිහිවීම ද විශේෂ සිදුවීමකි. ඒ හිටපු මේජර් ජනරාල්වරුන් වන නිර්මාල් ධර්මරත්න, නිශ්ශංක රණවන, දුෂ්‍යන්ත රාජගුරු, වජිර පලිහක්කාර, ප්‍රසන්න චන්ද්‍රසේකර සහ හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණය. එකම පන්තිවල අකුරු කළ ආදි සිසුන් හයදෙනකු එකම නිලයන් දරමින් රාජකාරි කිරීම සැබැවින්ම අපූරු සිද්ධියකි.
විරු ප්‍රණාම උළෙලේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ය. ඊට අමතරව නියෝජ්‍ය ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ද උළෙල වර්ණවත් කිරීමට සහභාගි වේ. මෑත වකවානුවේ විදුහල ඔප්නැංවීමට අනුපමේය සේවයක් ඉටුකළ හිටපු විදුහල්පතිවරුන් වන ඒ. පී. ගුණරත්න, එස්. එම්. කීර්තිරත්න ගුරු පියවරුන් අතින් ද සම්මාන ප්‍රදාන සිදු කෙරේ.
මව්පියන්ට තම පුතණුවන් ද, බිරිඳට තම ස්වාමියා ද, දරුවන්ට තම ආදරණීය තාත්තා ද රට ජාතිය වෙනුවෙන් කොතරම් වටිනා සේවයක්, කැපවීමක් කර තිබේදැයි පසක් වන්නට මෙම ‘ධර්මරාජ විරු ප්‍රභා සම්මානය’ පිරිනැමීම ගැන තවත් අටුවාටීකා ලියන්න අවශ්‍ය ම නැත.
ෂර්ලි අනිල් ද සිල්වා
11 Viewers





