සිංහලේ රාජකීය කොඩිය නැවත එසැවූ ගාල්ලගේ පුණ්‍යවර්ධන
ස්වර්ණ හංස පදනමේ නිර්මාතෘ ගාල්ලගේ පුණ්‍යවර්ධන අල්විස් මහතා වසර අසූවක ආයු කාලයක් නිම කොට අද දින අප සැමගෙන් වෙන්ව ගියේය.පාසල් ගුරුවරයෙකු වශයෙන් දරුවන් ගේ නැණස පෑදූ එතුමා පසුව සර්වෝදය ව්‍යාපාරය සමග රට පුරා සිය සමාජ සේවා කටයුතු ආරම්භ කලේය.කලකට පසු ස්වර්ණ හංස පදනම නමින් ස්වේච්ඡා සංවිධානයක් පිහිටවූ එතුමා මිය යන තෙක්ම දිවයින පුරාවට කළ ජාතික වැඩසටහන් එමටය.හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ ජාතිය විසින් නිවැරදි දේ තෝරා ගත යුතු යැයි ඔහු නිතරම කී දේ අදටත් සත්‍යයකි.එතුමගේ මුල් වීමෙන් දිවයින පුරා සෑදූ වැව් ගණනින් හයසීයකට වැඩිය.වැව් ගැනත් එහි පැරණි තාක්ෂනය ගැනත් සෙවූ එතුමා ඒ දැනුම අපටද ලබා දුන් හැටි මතකය. වැව් සෑදීමට බාහිර පාර්ශවකින් මුදල් ගබා ගත්තද ජනතා සාභගීත්වයද එයට තිබිය යුතු ආකාරය නිතර මතක් කර දුනි.සාභාගීත්ව සංවර්ධනය යන පාඨය රාජ්‍ය නොවන සංවිධාන වල මූලික අරමුණක් වුවත් ප්‍රායෝගිකව පෙන්නා දුන් මිනිසා ඔහුය.වැව් පමණක් නොව ළිං රැසක් ජනතාවගේ දිය පවස නිවා දීමට ඔහු තනා දුන්නේය.රසායනික පොහොර නැතිව ගොවිතැන් කිරීමට අපද මෙහෙයවා කළ සත්කාරයන් අපමණය.ජාතිකත්ව අගයමින් ඒ වෙනුවෙන් නොබියව සෘජුව පෙනී සිටීමට වෙර දැරීම ඔහුගේ ලක්ෂණයකි. 1951 දී සිංහල රාජකීය කොඩියට පටිගසා රට බෙදුම්වාදයට ගෙන ගිය හැටි ඔහු නිතර නිතර මතක් කර දුන්නේය. ඉංග්‍රීසීන් සහ නිලමේ වරු අත්සන් කළ සිංහලේ ගිවිසුම ප්‍රකාරව රට භාරදීමට ප්‍රථම ඉංග්‍රීසි කතිර කොඩිය එසැවීමට විරුද්ධව සිංහලේ කොඩිය එසැවූ වාරියපොල සුමංගල නා හිමියන් සිහිපත් කරමින් වාර්ෂිතකව ඔහු මහනුවරදී උත්සවයක් පවත්වා සිංහලේ කොඩිය ඔසවා එය ජාතියට මතක් කර දීමට උත්සාහ දැරීය.එයට බාධා පැමිණි වාර අනන්තය.දළදා මාළිගයෙන් මෙන්ම මහා සංඝ රත්නයෙන්ද බාධා පැමිණි වාර අනන්තය.
සිංහලේ ගිවිසුමට වසර දෙසීයක් පිරෙන් මොහොතේ මගුල් මඩුව ඉදිරිපිට කොඩි කණුවේ සිංහලේ කොඩිය එසැවීමට ගොස් පොලිසිය කඩා පැන කල අතවරය අපද අත්විදි හැටි මකය. යහපාලන කාලයේ දී ඒකාබද්ධ විපක්ෂය අතට සිංහලේ කොඩිය දී විරෝධතා දිරි ගැන්වීය.පසුව කුරුදුවත්ත පොලිසිය මගින් මේ කොඩි අත්අඩංගුවට ගන්නා ලද්දේය. ඔහු පසුබට නොවීය.පොලසිය සමග තර්ක කලේය. කරුණු කියා දුන්නේය. අවසානයේ පොලිසය ඔහුගෙන් සමාව ඉල්ලා කොඩි ආපසු භාර දුන්නේය.ඒ අරමුණ වෙනුවෙන් ඔහු දිවි හිමියෙන් කැප වූවද ඔහු ගේ අවසන් කටයුත් සිදු වූ අවස්ථාවේ දී මිනී පෙට්ටිය මත ඒ කොඩිය තබා ගෞරව කිරීමට දෛවය ඉඩ දුන්නේ නැත.
ඒ ඔහුගේ දෛවය පමණක් නොව අවංක සිංහලයන් ගේ දෛවයයි.කෙසේ වෙතත් ගාල්ලගේ පුන්‍යවර්ධන යනු යකඩ මිනිසෙකි. අපට ජාතික වීරයෙකි. බොල් පිළිම පුම්බා පාර්ලිමේන්තු යවන රටක ගල් පිළිම නෙලිය යුත්තේ ඔහු වෙනුවෙන්ය.යුගයක මෙහෙවර අවසන් නමුත් ඔහු අතට ගත් කොඩිය ඔසවන්නට තවත් දහසක් බිහිව ඇත. ඒ සියල්ලන් සමග ඔහුට යලිත් මේ දෙරණේ ඉපදී මේ කාලකණ්නි සමය අවසන් කරන්නට දායකත්වය සපයා දෙන්නට හැකි වේවා යි පතමි. නිර්වාණය යෑමට ඉන් පසු හැකිය.
නුවන් බැල්ලන්තුඩාව
57 Viewers





