සිංහල අලුත් අවුරුද්ද යනු ජාතික අනන්‍යතාවයේ මූලබීජය සහ එහි පෞරාණික උරුමයයි!
වර්තමාන ජන සමාජය තුළ වර්තමානයේ පවතින ඇතැම් මතවාදී ප්‍රවණතාවන් හේතුවෙන් “සිංහල අලුත් අවුරුද්ද” යන නාමය “ශ්‍රී ලාංකීය”, “සිංහල-දෙමළ”, හෝ “සිංහල-හින්දු* යන පොදු ලේබලයන් යටතේ දියකර හැරීමට උත්සාහයක් පෙනෙන්නට තිබේ. එහෙත්, මෙම උත්සවය හුදු දින දර්ශනයක වෙනසක් සමරන උත්සවයක් නොව, වසර දහස් ගණනක් තිස්සේ සිංහල ජාතියේ මූලයන්, සිරිත් විරිත් සහ ස්වභාවධර්මය සමඟ පවතින අවියෝජනීය බැඳීම ප්‍රකාශ කරන මහා සංස්කෘතික මංගල්‍යයකි. එම උරුමය එහි නියම නාමයෙන්ම ඉදිරියටත් පවත්වා ගැනීම ජාතියක ජීව ගුණය උදෙසා අත්‍යවශ්‍ය වේ.
සිංහල අලුත් අවුරුද්ද යනු හුදු විනෝද උත්සවයක් නොව, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පදනම් කරගත් විද්‍යාත්මක හා ජ්‍යොතිෂමය පදනමක් සහිත සංසිද්ධියකි.
ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ රාවණා යුගයේ සිටම සූර්ය වන්දනාව හා බැඳුණු මෙම චාරිත්‍ර සිංහල ජන ජීවිතය හැඩගස්වා ඇති බවයි.
බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් පවා සිය “එදා හෙළදිව” කෘතියේ සඳහන් කරන්නේ මහනුවර රාජධානි සමයේ සිංහලයන් මෙම මංගල්‍යය ඉතා ඉහළින් සැමරූ ආකාරයයි. මෙය කාලාන්තරයක් තිස්සේ ගොඩනැගුණු “සිංහල” සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රකාශනයක් වන අතර, එය වෙනත් නාමකරණයන් මගින් විග්‍රහ කිරීම තුළ එහි මූලික අර්ථය පටු විය හැකිය.
සිංහලයින්ගේ සංස්කෘතික සිරිත් විරිත්වල කැපී පෙනෙන සුවිශේෂී ලක්ෂණ රාශියක් පවතී.
අලුත් අවුරුද්දේ සිදුවන සෑම චාරිත්‍රයක්ම සිංහල බෞද්ධ හා හෙළ සංස්කෘතියේ හර පද්ධතීන් නියෝජනය කරයි. උදාහරණ ලෙස “නොනගතය” යනු ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අධ්‍යාත්මිකව පවිත්‍ර වීමයි. ”වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීම” යනු කෘෂිකාර්මික ජීවන රටාව හා පරිසරය සමඟ පවතින සබැඳියාවයි.
“හිසතෙල් ගෑම”යනු නිරෝගීභාවය සහ ආශිර්වාදය පතා සිදුකරන පෞරාණික හෙළ වෙදකම හා බැඳුණු සම්ප්‍රදායි.
මෙම චාරිත්‍ර විධි සමුදාය සිංහල සංස්කෘතියට පමණක් ආවේණික වූ රිද්මයකින් යුක්තය. ලෝකයේ වෙනත් ජාතීන් තම අනන්‍ය උත්සව (උදා: චීන අලුත් අවුරුද්ද) කිසිදු නාමික වෙනසකට භාජනය නොකර සමරද්දී, අපගේ උරුමයේ නාමය වෙනස් කිරීමට උත්සාහ කිරීම සංස්කෘතික වටිනාකම හෑල්ලු කිරීමකි.
“සිංහල අලුත් අවුරුද්ද” යන නාමය භාවිතා කිරීම අනෙක් ජාතීන් කොන් කිරීමක් නොවේ. එය තම අනන්‍යතාවයට ගරු කරන අතරම අසල්වැසි දෙමළ ජනතාවගේ “පුත්තාන්ඩු” උත්සවයට ද එකසේ ගරු කිරීමකි. සංස්කෘතීන් දෙකක් අතර පවතින සමානකම් අගය කළ යුතු වුවත්, ඒ දෙකෙහිම අනන්‍ය ලක්ෂණ ආරක්ෂා විය යුතුය. “සිංහල අලුත් අවුරුද්ද” ලෙස එය හැඳින්වීමෙන් සිදුවන්නේ වසර දහස් ගණනක ඉතිහාසය සහ එම සංස්කෘතිය නිර්මාණය කළ හෙළ මිනිසාගේ උරුමය සුරක්ෂිත කිරීමයි.
අනාගත පරපුරට අප දායාද කළ යුත්තේ ඕනෑම ජාතියකට පොදු වූ අර්ථ විරහිත සැමරුමක් නොව, සිංහල ජාතියේ මූලයන් සිහිගන්වන සැබෑ උරුමයකි. එබැවින් සිංහල අලුත් අවුරුද්ද, එහි ඓතිහාසික නාමයෙන්ම ඉදිරියටත් සැමරීම අපේ ජාතික වගකීමකි. ජාතියක පැවැත්ම තීරණය වන්නේ එහි සංස්කෘතික අනන්‍යතාවය මත බැවින්, “සිංහල අලුත් අවුරුද්ද” යනු හුදු වචනයක් නොව අපගේ ජීවනාලියයි.
2026.04.15
දුලාර ගුණතිලක
කැඳවුම්කරු
සිංහල සංවිධාන එකමුතුව
076 648 3664
3 Viewers





