• Home »
  • News »
  • “සුළුතර තීන්දුව” පූජිත නිදහස් කරයි. නිලන්ත ජයවර්ධන කොටු කරයි.

“සුළුතර තීන්දුව” පූජිත නිදහස් කරයි. නිලන්ත ජයවර්ධන කොටු කරයි.

පාස්කු දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව මරණ දඩුවම නියම කලේ ය.

කෙසේ වෙතත්, හිටපු පොලිස්පතිවරයාට එරෙහිව ලැබී තිබුණේ බෙදුණු නඩු තීන්දුවකි.

ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු වූ ප්‍රියන්ත ලියනගේ සහ සාමාජික විනිසුරුවරයෙකු වූ තිලකරත්න බණ්ඩාර යන අය බහුතර තීන්දුව ලබා දුන් අතර, එම බහුතර තීන්දුවට අනුව පූජිත ජයසුන්දරට එරෙහිව මරණ දඩුවම නියම කරන ලදී.

ඉන්පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සුළුතර තීන්දුව, විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් ප්‍රකාශයට පත් කළේ ය.

විනිසුරු විරාජ් වීරසූරියට අනුව, ඔහුට එරෙහිව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැති බැවින්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර නිදොස් කොට නිදහස් කළ යුතු- ය.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණු මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂි කරුවන් වී තිබුණේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පතිවරුන් වූ සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන අයයි.

නඩුවට අදාලව ලබා ගත් සාක්ෂි ගොන්න පිටු හාර සියයක් වූ අතර, ඉන් පිටු තු-න්සියයක්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ලබා දී තිබුණු සාක්ෂියයි.

නිලන්ත ජයවර්ධන විසින් ලබා දී තිබුණු සාක්ෂිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක්, සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් යොමු කර තිබේ.

ඒ අනුව, විනිසුරු විරාජ් වීරසූරිය මහතා පවසන්නේ, නිලන්ත ජයවර්ධන, තමන්ට එල්ලවන චෝදනා සියල්ල වෙනත් පාර්ශ්වයකට පැවරීම සදහා සූක්ෂ්ම ලෙස සාක්ෂි දෙන බව පෙනී ගිය බවයි.

හරස් ප්‍රශ්න සදහා පිළිත-ුරු ලබා දීම සහ ඇතැම් ප්‍රශ්න සදහා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීම ආදී සියල්ල විනිසුරු විරාජ් වීරසූරිය මහතාගේ අවධානයට යොමුව තිබේ.

මෙම නඩුවේ දී තවත් විශේෂ කරුණක් අනාවරණය වී තිබේ.
ඊට අනුව, 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ල වන ප්‍රහාරය පිළිබදව නිලන්ත ජයවර්ධන විසින් අප්‍රේල් විසි වෙනිදා සවස හතර පසු වී විනාඩි පහත් – හතර පසු වී විනාඩි දහයත් අතර වේලාවකදී එවකට පොලිස්පති වූ පූජිත ජයසුන්දරට වට්ස් ඇප් පණිවිඩයක් මගින් දැනුම් දෙයි.

අප්‍රේල් විසි එක් වෙනිදා ප්‍රහාරයක් එල්ල වන බව අප්‍රේල් විසි වෙනිදා සවස පොලිස්පතිට දැනුම් දෙන නිලන්ත ජයවර්ධන, අප්‍රේල් විසි එක් වෙනිදා උදෙන්ම ආරක්ෂක ලේකම් වූ හේමසිරි ප්‍රනාන්දුට යවා ඇති පණිවිඩය ක-ුමක්ද කියා ඔබ දන්නවාද..?

නිලන්ත ජයවර්ධන, අප්‍රේල් විසි එක් වෙනිදා උදෑසන හේමසිර ප්‍රනාන්දුට යැවූ පණිවිඩයේ – තව මොහොතකින් එල්ල විමට නියමිත ත්‍රස්ත ප්‍රහාරය ගැන කිසිවක් සදහන් කර නැති අතර, එදිනම සවස නිට්ටඹුවේ පැවැත්වෙන උද්ඝෝෂණයක් පිළිබදව වාර්තා කර තිබේ.

මෙම නඩු විභාගයේ දී එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන සහ එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ යන අය අතර පැවති දේශපාලන ගැටුම පිළිබදව ද අවධානය යොමු වී තිබේ.

දේශපාලන නායකයන් දෙදෙනා අතර පැවති ගැටුම හේතුවෙන් මාස පහක් ආරක්ෂක කවුන්සිලය රැස්ව තිබුනේ නැත. ඊට අමතරව ඇතැම් අවස්ථාවල පොලිස්පතිවරයාට ආරක්ෂක කවුන්සිලය තහනම් කර තිබුණි.

මේ සියළු කරුණු සැබෑවක් වුවත්, සිය රාජකාරිය නිසි ලෙස ඉටු කළ නොහැකිනම්, පූජිත ජයසුන්දර කළ යුතුව තිබුණේ පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්වීම බව බහුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරුන්ගේ අදහස වී තිබුණි.

පොලිස්පති ධූරයේ රාජකාරිය හරිහැටි කිරීමට ඉඩ නොලැබෙන තත්ත්වයක, එම ධූරයේ රැදී සිටිමින් එම ධූරය සදහා ලැබෙන වරප්‍රසාද භුක්ති විදීම පූජිත ජයසුන්දර විසින් නොකළ යුතුව තිබුණකි.



6 Viewers