• Home »
  • Sinhala News »
  • 13 බලාත්මක කිරීම මුස්ලිම් ජනතාවට අවශ්‍ය නැහැ – හකීම්ලාගේ පෞද්ගලික මත වලට මුස්ලිම් ජනතාව යටත් කරන්න දෙන්න බැහැ – නසීර් අහමඩ්

13 බලාත්මක කිරීම මුස්ලිම් ජනතාවට අවශ්‍ය නැහැ – හකීම්ලාගේ පෞද්ගලික මත වලට මුස්ලිම් ජනතාව යටත් කරන්න දෙන්න බැහැ – නසීර් අහමඩ්

13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කර උතුරු හා නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කරන ලෙස දෙමළ නායකත්වය පැවසුවද එම පළාත්වල ජීවත් වන මුස්ලිම් ජනතාවට එබදු අවශ්‍යතාවක් නොමැති බවත්, මුස්ලිම් කොංග්‍රසයේ නායකයාද එම මතයේම සිටිනවා නම් උතුරු හා නැඟෙනහිර මුස්ලිම් ජනතාවට බලය බෙදීම කුමක්දැයි පැහැදිලි කළ යුතු බවත් අමාත්‍ය නසීර් අහමඩ් පවසයි.

අමාත්‍ය නසීර් අහමඩ් මේ බව පවසා ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවල දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි වගන්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි නිසා බවයි වාර්තා වන්නේ.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේදී එමගින් මුස්ලිම් ප්‍රජාවට ප්‍රශ්නයක් ඇති නොවිය යුතු බවද, මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් සිටින්නේ දෙමළ දේශපාලන නායකයන්ගේ මතයේම නම් ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්වන මුස්ලිම් ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම කුමක්ද යන්න පැහැදිලි කළ යුතු බවයි ඔහු පවසන්නේ.

මේ පළාත් දෙක වෙන් කළ යුතු බව හකීම් පවසන්නේ නම්, පවරාගත් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ඔවුන්ට නැවත ලබාදිය යුතු බවත්, ඔවුන්ට සම අයිතීන් ලබාදිය යුතු බවත් නසීර් අහමඩ් ඇමැතිවරයා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වන ඇමැතිවරයා,

“ හකීම් සිටින්නේ එක්වීමේ ස්ථාවරයක නම් ඔහු උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම කුමක්ද යන්න පැහැදිලි කළ යුතුයි. මේ දේවල් සම්බන්ධයෙන් හකීම් සහ සුමන්දිරන් අතර ඇති රහස් සාකච්ඡා එළියට ගෙන ඒම අවශ්‍යයි. මේ පළාත් දෙක වෙන් කළ යුතු බව හකීම් කියන්නේ නම්, පවරාගත් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ඔවුන්ට නැවත ලබාදිය යුතුයි.

සුළු ජාතික ප්‍රජාවන්ගේ පොදු අනන්‍යතාවයට මුස්ලිම් ජනතාව යට කිරීමට උත්සාහ කරනවා. මේ පොදු අනන්‍යතාවය ඇතුළේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එබැවින් 13වැනි වගන්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති රවුෆ් හකීම් කළ ඉල්ලීම මෙම තත්ත්වයන්ට අදාළ නොවේ. මෙය ඔහුගේ පෞද්ගලික මතය මිස උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවක් නොවේ. ඒ නිසා කවුරුත් විසඳුම ගැන කතා කළ යුතු නැහැ.

උතුරු – නැඟෙනහිර වෙනම පළාත් වන බැවින් විශේෂයෙන්ම නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මුස්ලිම් ජනතාවට පවරාගත් ඉඩම් ලබාදීම අවශ්‍ය යි. උදාහරණයක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14ක් තියෙනවා. මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇත්තේ 04ක් පමණ යි. දිස්ත්‍රික්කයේ මුලු ජනගහනයෙන් 27% ක් මුස්ලිම්වරුන් වන නමුත් ඔවුන්ට අයිති ඉඩම් ප්‍රමාණය 1.3% ක් පමණ යි.

ඉඩම් වලින් 27 %ක් ඔවුන්ගේ බල අරගල සහ තර්ජන නිසා බලහත්කාරයෙන් පැහැරගෙන වංචනික ලෙස ලබා ගත්තා. පළාත් සභාවලට ඉඩම්, පොලිස් බලතල දෙන්න කලින්, බලෙන් පවරාගත් මුස්ලිම් ජනතාවට අයත් ඉඩම් ආපහු දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඉඩම් මායිම් ප්‍රශ්නත් විසඳන්න ඕන.

13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් පසු උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාව වාර්ගික අඩම්තේට්ටම්වලට ලක්වුණා. නැගෙනහිරින් ඔවුන්ට අයත් ඉඩම් රාජසන්තක කළා. මඩකලපුවේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් රාජසන්තක කළා. මුස්ලිම් ජනතාව 13වැනි සංශෝධනයට බිය වන්නේ මේ නිසයි. සුළු ජන අයිතිවාසිකම් ඉල්ලා සිටින ඔවුන් තම පළාතේ ඔවුන් සමග සිටින සුළු ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ පැහැරගෙන. එබැවින් බලය බෙදීමේ දී උතුරු – නැඟෙනහිර මුස්ලිම්වරුන්ටද තම අයිතීන් සමානව ලබා දිය යුතුයි.“



47 Viewers