• Home »
  • News »
  • පාවාදීමක් සිදුවන්නේ කෙසේද? ටිල්වින් සහෝදරයාට විවෘත සංදේශයක්!!

පාවාදීමක් සිදුවන්නේ කෙසේද? ටිල්වින් සහෝදරයාට විවෘත සංදේශයක්!!

ගරු ටිල්වින් සහෝදරයා වෙතයි!

ඔබ විසින් 54 වැනි අපේ‍්‍රල් වීරු සමරු උත්සවයේදී ජනතාව අමතමින් මෙසේ සඳහන් කරන්නට යෙදුණි. ‘‘අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන්, පාවාදීම්වලට එරෙහිව සටන් කරලා දිවි පුදන්න පුළුවන් කියලා දිවි පුදපු පරම්පරාවක් නියෝජනය කරන්නේ. අපි මෝදීට රට පාවා දෙනවාද?’’ ඔබ විසින් එවැනි ප‍්‍රකාශයක් කරන්නට හේතු වන්නේ ඔබගේ පක්ෂය මුල් වී ගොඩනඟන ලද ආණ්ඩුව විසින් ගිවිසුම් මගින් ඉන්දියාවට රට පාවා දෙන බවට විවිධ පාර්ශ්වවලින් එල්ල වන චෝදනාවලට පිළිතුරු බැඳීමේ වුවමනාව නිසා බව ඉතා පැහැදිලිය.

ඔබ සදහන් කරන අතීත පරපුර නියෝජනය කරන්නෙකු ලෙස මෙම ලියුම්කරු ඔබගේ ප‍්‍රකාශයේ මූලික අදහස ඉතා සතුටින් අනුමත කරන බව පළමුවෙන්ම සඳහන් කළ යුතුය. ඔබ පුද්ගලිකව මෝදීට රට පාවාදීම අනුමත නොකරන බවද පිළිගනිමි. නමුත් ඔබගේ ආණ්ඩුවේ අති බහුතරය බලය හොබවන, 1994න් පසුව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ පිරිස් වලට අතීත කැපකිරීම් සහ ඊට හේතු වූ සාධක පිළිබඳව හෘද සාක්ෂියේ ප‍්‍රශ්නයක් නොමැති බව ඔවුන් විසින් ප‍්‍රායෝගිකව ඔප්පු කරමින් තිබෙන බව ඔබ පිළිගන්නවා ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ඉන්දියාවට රට පාවා නොදෙන බවට ඔබ විසින් මහජනයාට සහතිකයක් ලබාදෙන්නේ රජයේ නිලධාරීන් 7 දෙනකු විසින් අත්සන් තැබූ ගිවිසුම් 7ක් කියවා බැලීමෙන් තොරව බව ඉතා පැහැදිලිය. ඊට හේතුව අදාළ ගිවිසුම් වල පිටපත් අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ ඔබගේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට ඉදිරිපත් නොකිරීමය. ඔබට ඒවා පුද්ගලිකව ලබා දුන්නා නම් ඒ පිළිබඳව පළමුව පක්ෂය තුළ සංවාදයක් ගොඩනැගීම ඔබගේ පරම වගකීමක් බව ඔබ පිළිගන්නවා ඇත. නමුත් ඔබ විසින් පක්ෂය තුළ හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමඟ අදාළ ගිවිසුම් පිළිබඳව සාකච්ඡුා කළ බවක් වාර්තා වන්නේ නැත. එසේ සාකච්ඡුා කළා නම් අදාළ ගිවිසුම්වල පිටපත් ඊට සහභාගි වූවන්ට ලබාදිය යුතු බව ඔබ පිළිගන්නවා ඇත. නමුත් එවැන්නක් සිදුවී නොමැති බවද ඔබට පිළිගැනීමට සිදුවේ.එම තත්ත්වය තුළ ඉන්දීය රජය සහ ශ‍්‍රී ලංකාවේ රජය අතර රහසිගතව ගිවිසුම් අත්සන් කිරීමේ ක‍්‍රියාවලිය මගින් ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමය සහ ඔබ විසින් ජනාධිපතිවරණයට පෙර මහජනයා අතර ප‍්‍රචලිතකළ ඔබගේ රජයේ අනාගත ක‍්‍රියාකාරීත්වයට අදාළ මානසික පින්තූරය බලවත් ලෙස පාවාදීමට ලක්වන බව පහත සඳහන් හේතු මත ඉතා සංවේගයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.

පළමුවෙන්ම, එම ගිවිසුම් 7 අතුරින් ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්වෛරීත්වයට සහ භූ දේශපාලන ස්වාධීනත්වය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරන ආරක්ෂක සහයෝගිතා ගිවිසුම පිළිබඳව ඉන්දියානු ජනමාධ්‍ය වෙත, ඉන්දියාවේ විදේශ ලේකම් වික‍්‍රම් මිස්රි විසින් සිදුකළ ප‍්‍රකාශය අනුව එම ගිවිසුම සකස් කරනු ලබන්නේ ඉන්දියානු නිලධාරීන් විසින් වන අතර ඉන්දු – ලංකා ගිවිසුමට පසුව අත්සන් කරනු ලබන ඊට වඩා පුළුල් ආවරණයක් සහිත ගිවිසුමකි. එසේ නම් ඔබගේ පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් ගිවිසුමේ පිටපතක් නොදක එකඟ වන්නේ 1987 ඉන්දු – ලංකා ගිවිසුමකට වඩා බරපතළ ගිවිසුමකටය. ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පසුව රට පාලනය කළ ජනාධිපතිවරුන් 7 දෙනකු විසින් නොකළ දෙයක් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවක් විසින් සිදුකර ඇත.

ඔබ විසින් සඳහන් කරන්නට යෙදුණු පාවාදීම්වලට එරෙහිව දිවි පිදීමේ ගෞරවය ඔබට ලැබෙන්නේ එදා ඉන්දු – ලංකා ගිවිසුම මගින් සිදුකළ පාවාදීමට එරෙහිව ඔබ නැගී සිටි නිසාය. එසේ නම් ඊට වඩා බරපතල ප‍්‍රතිපාදන සහිතව අත්සන් කරන්නට යෙදුණු ආරක්ෂක හෙවත් මිලිටරි ගිවිසුමක් සාධාරණීකරණය කිරීම සඳහා ඔබ තුළ ඇතිවන පෙළඹවීම හැඳින්විය යුත්තේ කුමන ක‍්‍රියාවක් ලෙසද? එදා ඉන්දු- ලංකා ගිවිසුමට එරෙහිව දිවි පිදුවීමට එකඟ වූ ඔබට මෙන්ම මටද අදාළව එවැනි ක‍්‍රියාවක් හැඳින්වීම සඳහා පාවාදීම හෝ රටට ද්‍රෝහීවීම හැර වෙනත් යෙදුමක් තිබේද? එදා ඉන්දු – ලංකා ගිවිසුමට අදාළ ව සියලූම කොන්දේසි එළිදරව් වී නොතිබුණු තත්ත්වයකදී පවා ඊට එරෙහිව 1987 ජූලි 29 දින ආරම්භ කළ විරෝධතාවයේ පළමු පියවර අවසන් වන්නේ විරෝධතාකරුවන් 140කට ජීවිත අහිමි කරමිනි. අද ඊට වඩා බරපතළ බවට ඉන්දියානු නිලධාරීන් විසින්ම පිළිගන්නා ගිවිසුමකට එරෙහිව කිසිදු විරෝධතාවක් නොමැති වීම පමණක් නොව අදාළ ගිවිසුම් සාධාරණීකරණය කිරීම සඳහා ඔබ වැනි එදා රට වෙනුවෙන් දිවි පිදුවීමට සූදානම් වූ අයෙකු ඉදිරිපත්වීම යනු ඉතිහාසයේ බරපතළ සරදමක් බව සංවේගයෙන් යුතුව සඳහන් කරමි.

එදා ඔබගේ මතවාදී සහ ශ‍්‍රමදායකත්වයෙන් පිහිට වූ යහපාලන රජය විසින් 2017 දී ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇක්සා ACSA නමින් යුද සැපයුම් සහ සේවා ආශ‍්‍රිතව ගිවිසුමක් අත්සන් කිරීමේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳව වත්මන් රජයේ අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බරපතළ විරෝධයක් පළ කරනු ලැබීය. ඔහු ඒ පිළිබඳව විරෝධය දැක්වූයේ 2019 පෙබරවාරි 22 දින පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වමිනි. ඊට හේතු වූයේ ACSA ගිවිසුමට අමතරව SOFA නම් වූ ඇමරිකානු හමුදා වලට ඕනෑම අවස්ථාවක ශ‍්‍රී ලංකාවට ඇතුළු වී කඳවුරු බැඳීමට ඉඩ සලසන දෙවන ගිවිසුමක් අත්සන් කිරීමට එදා පැවති රජය විසින් උත්සාහ ගැනීමය. ඊට පෙර 2007 දී පැවැති රජය විසින් පිටු 7කින් සමන්විත වූ සීමා සහිත කොන්දේසි සහිතව අත්සන් කළ ගිවිසුම 2017 දී නැවත අත්සන් කරනු ලබන්නේ පිටු 183 ක් දක්වා දිගු කරමින් සහ විස්තීරණ කොන්දේසි සහිතවය. ඒ අනුව බිමල් රත්නායක මන්ත‍්‍රීවරයාගේ විරෝධය ඉතා සාධාරණ විය.

එදා බිමල් රත්නායක මන්ත‍්‍රිවරයා එසේ විරෝධය පළ කරනු ලබන්නේ අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳවය. නමුත් එදා එම ගිවිසුමේ පිටපතක් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව සමඟ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරන අනුමැතිය ගනු ලැබීය. නමුත් මෙදා ඉන්දු – ලංකා ගිවිසුමට වඩා බරපතළ ගිවිසුමක් අත්සන් කරනු ලබන්නේ එම ගිවිසුමේ පිටපතක් අමාත්‍ය මණ්ඩලයට හෝ ඉදිරිපත් නොකර රහසිගතවය. නමුත් බිමල් රත්නායක අමාත්‍යවරයා එම ගිවිසුම නොදැක ඊට අනුමැතිය ලබාදී ඇත. එසේ ගිවිසුමේ කොන්දේසි පිළිබඳව දැනුම්වත්ව රහසිගත භාවයක් පවත්වා ගැනීම මගින් අදාළ කොන්දේසි රටට අහිතකරවන බවට සාධාරණ සැකයක් ඇතිවේ. එදා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමේදී රහසිගත භාවය පවත්වා ගැනීම සඳහා ඉන්දියානු රජයෙන් බලපෑම් එල්ල වූ බව වාර්තා විය. ඒ අනුව අද වර්තමාන රජයේ ප‍්‍රතිරූපයට හානිවන ආකාරයට සැක සහිත රහසිගත භාවයක් පවත්වාගෙන යාමට හේතු වූ සාධක මොනවාද? ඉන්දියානු නිලධාරීන් විසින් සකස් කළ බවට බවට ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් පිළිගන්නා එම ගිවිසුමේ කොන්දේසි රහසිගතව තබාගන්නා ලෙසට ඉන්දියානු නිලධාරීන් බලපෑම් කළාද? ඔබ ඒ පිළිබඳව සොයා බැලූවාද?

එදා ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධව නැගී සිටීමට ගාමිණී ජයසූරිය අමාත්‍යවරයාට සහ මහින්ද යාපා මන්ත‍්‍රීවරයාට ධෛර්යය තිබුණි. නමුත් මෙදා අතීත විරෝධය තුළින් සිදුකළ කැපකිරීම් පිළිබඳව අත්දැකීම් සහිත පිරිස් සහ එසේ නොමැති පිරිස් යන කොට්ඨාශ දෙකම නිහඬව සිටීම සහ ඔබ වැනි චරිතයක් විසින් සමස්ත ක‍්‍රියාවලිය සාධාරණීකරණය කිරීම ඉතිහාසය විසින් අනාගතයේදී කෙසේ නිර්වචනය කරනු ඇත්ද? විශේෂයෙන්ම මැතිවරණයට පෙර විනිවිද භාවයක් නොමැතිව හොර රහසේ ගිවිසුම් අත්සන් කර රට පාවා දෙන බවට පෙර පැවති රජයන්ට දෙස් දෙවොල් තැබූ ඔබ අද ඉන් ඔබ්බට ගොස් එම ක‍්‍රියාව සිදුකිරීම සහ එය සාධාරණීකරණය කිරීම කෙසේ නිර්වචනය කෙරෙනු ඇත්ද?

එදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා මහෝෂධ භූමිකාව හෙවත් ඉසිවර භූමිකාව ඉටුකරමින් ඉන්දුලංකා ගිවිසුම මගින් ආරම්භ කෙරෙන රට ෆෙඩරල්කරණය කිරීම සහ අවසානයේදී බෙදා වෙන් කිරීමේ ක‍්‍රියාවලියට එරෙහිව දිවි පුදා විරෝධය දක්වන්නේ සමස්ත ක‍්‍රියාවලියේ අවසාන ඛේදවාචකය වැළැක්වීම සඳහාය. එදා එම දැඩි විරෝධය එල්ල නොවන්නට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් වන්නේ සහ ඇත්ත වශයෙන්ම සකස් කර තිබුණෙ, පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීම සඳහා බව ඉතා පැහැදිලිය. ඒ පිළිබඳව බොහෝ සාක්ෂි හෙළිදරව්වූ බව ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි. එම ප‍්‍රචණ්ඩ විරෝධය තුළ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු ප‍්‍රතිපාදන ඉවත් කිරීම සඳහා සහ යම් ව්‍යවස්ථාමය බාධක පැනවීම සඳහා අවස්ථාව ලැබුණි. එනම් 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක වන ආකාරයට ව්‍යවස්ථානය ප‍්‍රතිපාදන අදාළ සංශෝධනයට ඇතුල් වූවා නම් අද වන විට ශ‍්‍රී ලංකාව බෙදී වෙන් වී සුඩානයේ අවසානවන්ත රටවැසියන් මෙන් අප ද 2කට බෙදී එකිනෙකා මරාගන්නා බවට කිසිදු සැකයක් නැත. එම අවාසනාවන්ත ඉරණම කල් දමා ගැනීම සඳහා දිවි පුදමින් සිදු කළ කැපකිරීම් නොවන්නට 1994 දී ජනතා විමුක්ති පෙරමුණ නැවත නැගි සිටීමෙන් පසුව බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට සහ ඉන්දියානු ව්‍යාප්තවාදයට අදාළ න්‍යායාත්මක පදනම මත ශක්තිමත්ම දෙපා තබා ගන්නේ නැත.

එසේ දිවිපුදා එම න්‍යායාත්මක ස්ථාවරය තහවුරු කර තිබූ නිසා ඉන් පසුව 2002 දී රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් සුඩානය බෙදා වෙන් කිරීම සඳහා යොදාගත් තාවකාලික ආණ්ඩු යෝජනාව ශ‍්‍රී ලංකාවට අදාළව අත්සන් කිරීම සඳහා උත්සාහ කළ අවස්ථාවේදී එම මහා පාවාදීම පරාජය කිරීමට ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ ඉදිරිපත් විය. ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් 2005 දී සුනාමි සහන මණ්ඩලය නමින් තාවකාලික ආණ්ඩුවක් බෙදුම්වාදීන්ට ලබා දී සූඩානයේ සිදු කළ වරද වෙනත් ආකාරයකට සිදුකිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වන්නේ එම දැඩි න්‍යායාත්මක ප‍්‍රවේශය නිසා බව ඔබ පිළිගන්නවා ඇත. ඒ අනුව අද ඔබ ක‍්‍රියා කරන ආකාරයට එදා අතීත නායකයින් ක‍්‍රියා කළා නම් රටට සිදුවන විපත කෙතරම් බරපතල ද යන්න තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ.

එදා ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමය හෙවත් ප‍්‍රමුඛතම දේශපාලන භූමිකාව පදනම් වූයේ බෙදුම්වාදීන්ට එරෙහිව පමණක් නොව එහි දිගුවක් වන හෝ එසේ නැතහොත් බෙදුම්වාදී ප‍්‍රවණතාවයට උපත ලබා දෙන ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව බව ඔබ පිළිගන්නවා ඇත. එදා ඉන්දියානු ව්‍යාප්තවාදයට අදාල දේශපාලන පන්තිය මෙන්ම 1974 දී ඉන්දියාව විසින් සිකීමය ඈඳා ගැනීමේදී සහ ඉන් පසුව 1977 සිට ඉදිරිපත් කළ ඉගැන්වීම් අනුව 1932 දී ඉදිරිපත් කළ පනික්කාර් න්‍යාය මත පදනම් වූ මහාභාරත හෙවත් අඛණ්ඩ භාරත් උපාය මාර්ගික ප‍්‍රවේශයට අනුව ඉන්දියාව කටයුතු කරන බව ඉතා පැහැදිලිව අවබෝධ කරගනු ලැබීය. රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් වලට අනුව ශ‍්‍රී ලංකාවේ ඉන්දියාවේ අර්ධ යටත්විජිතයක් ලෙස ගිවිසුම් මගින් ඈදා ගැනීම හෙවත් 29 වැනි ප‍්‍රාන්ථය බවට පත්කිරීම සඳහා බෙදුම්වාදය මගින් රට දුර්වල කිරීම පූර්ව කොන්දේසියක් බවට පත්වේ. ඔහුට අනුව එසේ නිර්මාණය කෙරෙන ඊළාම් රාජ්‍යය 30වැනි ප‍්‍රාන්තය බවට පත්විය හැකි අතර අධිරාජ්‍යවාදීන්ගේ ඉන්දු පැසිෆික් යුද සිතියමට අනුව එම රාජ්‍යය ආසියාවේ ඊශ‍්‍රායලය බවට පත්කර ගනු ඇත. එසේ ඊළාම් රාජ්‍යය දකුණු ආසියාවේ ඊශ‍්‍රායලය හෙවත් ත‍්‍රස්තවාදී රාජ්‍යයක් බවට පත්කිරීමේදී ශ‍්‍රී ලංකාවේ සෙසු භූමිය පළස්තීනයක් බවට පත්වන බව ඔහු විසින් පෙන්වා දෙන්නට යෙදුනි. ඊට සමගාමීව ආසියාවේ නේටෝ සංවිධානයද බිහිවන බවට ඔහු විසින් තර්කානුකූලව අනාවැකියක්ද පළකරනු ලැබීය. අද වන විට ූඹ්ෘ හඳුන්වන ඉන්දියාව, ඇමෙරිකාව, ඕස්ටෙ‍්‍රිලියාව, ජපානය යන රටවල් විසින් ආසියාවේ නේටෝව ලෙස හැඳින්විය හැකි යුද සන්ධානයක් බිහිකර ඇත. ජාතික ජන බලවේගයේ ඇතැම් බලවත් පිරිස් විශේෂයෙන්ම මෑත කාලීනව ආගමනය වූ පිරිස් විසින් පනවනු ලබන මානසික බාධක මගින් එම ඉගැන්වීම්වල යථාර්ථය සැඟවිය හැකිද?

ජාතික ජන බලවේගය රජය පිහිටුවීමෙන් පසු ඉන්දියානු පාලකයින් විසින් තම උපායමාර්ගික ප‍්‍රවේශය ඉතා සීග‍්‍රයෙන් ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියානු සංචාරයේදී ඇති කරගත් එකඟතාවයන් තුළින් පැහැදිළි වේ. ජනාධිපති අනුර දිසානායක මහතා 2004.02.16 දින ඇතිකරගත් එකඟතාවය 2025.07.21 දින රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් ඇතිකරගත් එකඟතාවයට වඩා ඉතා විස්තීරණ සහ බරපතළ බව එම එකඟතාවයන් දෙක සංසන්දනය කිරීමේදී ඉතා හොඳින් පැහැදිලි වේ. එහිදී අනුර දිසානායක මහතාගේ එකඟතාවය මගින් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එකඟතාවය සම්පූර්ණයෙන්ම පිළිගන්නා අතර එහි දිගුවක් ලෙස ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම, ඩිජිටල්කරන ව්‍යාපෘතිය මඟින් ශ‍්‍රී ලංකාවේ දත්ත ස්වෛරීභාවය ඉන්දියාවේ අනුකම්පාවට යටත් කිරීම සහ ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත මුහුදු කලාපයේ ජල විද්‍යාත්මක අධ්‍යානය නමින් එම කලාපයේ ආධිපත්‍ය පැතිරවීමේ ඉන්දියානු උවමනාවන්ට පහසුකම් සැලසීම ආදී නව කොන්දේසි වලට එකඟ වී ඇත.

ඒ අනුව මෙවර අත්සන් කළ ගිවිසුම් 7ක් අතුරින් 4ක් ඉතා බරපතළ වේ. ඉහත සඳහන් කළ ආකාරයට ආරක්ෂක ගිවිසමු මගින් ශ‍්‍රී ලංකාව QUAD සංවිධානයේ ඉන්දු පැසිෆික් යුද සිතියමේ කොටස්කරුවකු බවට පත්වීම වැළැක්විය නොහැක. එම තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවේ ජනතාව ඉන්දු පැසිෆික් කලාපයේ අනාගතයේදී පැන නැගිය හැකි යුද ගැටුමක වින්දිතයන් බවට පත්වීම වැළැක්විය නොහැක. ඊට අමාතරව බලශක්තියට අදාළ ගිවිසුම් මගින් ශ‍්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉන්දියාවේ අනුකම්පාවට යටත් කෙරෙන බව සහ ත‍්‍රිකුණාමලය ආශ‍්‍රිතව අනාගත ජාත්‍යන්තර යුද සැපයුම් මධ්‍යස්ථානයක බලශක්ති සැපයම ඉන්දියානු ආධිපත්‍යයට යටත් කර ගැනීමට අවස්ථාව ලැබෙන බව ඉතා පැහැදිලිය. ඊට අමතරව ඩිජිටල්කරන ගිවිසුම් මගින් ශ‍්‍රී ලංකාවේ දත්ත ස්වෛරීභාවය අනතුරට ලක්වන බව සහ ශ‍්‍රී ලංකාවේ ජනයාගේ පුද්ගලික තොරතුරු සහ රජයේ සියලූ තොරතුරු පද්ධති වලට ඇතුල්වීමට ඉන්දියානු සමාගම් වගට අවස්ථාව ලැබෙන බව ඉතා පැහැදිළිය. එම අවබෝධය ලබා ගැනීම සඳහා අදාළ ගිවිසුම් කියවීමට අවස්ථාව නොලැබුණද ඉන්දියානු රජය විසින් ප‍්‍රකාශයට පත් කළ 2024.12.16 එකඟතා ප‍්‍රකාශයේ අඩංගු කරුණු වලින් හැකියාව ලැබේ. ඊට අමතරව කර්මාන්ත අමාත්‍ය හඳුන්නෙත්ති මහතා පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දුයානු කර්මාන්ත අමාත්‍යවරයා සමග ඇතිකර ගත් එකගතාවයට අනුව ශ‍්‍රී ලංකාවේ වටිනා කනිජ සම්පත් කැණිම සඳහා ඉන්දියානු සමාගම්වලට ප‍්‍රමුඛතාවය ලබාදෙනු ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ ඔබ කුමන වචන යොදා ගනිමින් කුමන ස්වරයෙන් පාවාදීමක් සිදු නොකරන බව සඳහන් කළ ද ඉතා කෙටි කලකින් ඒ බව ඔප්පු වනු ඇත. මෙම ගිවිසුම්, ඉන්දියානු බලපෑම මත ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, මෙන්ම අමාත්‍ය මණ්ඩල උපදෙස් සංග‍්‍රහයට සහ ආරක්ෂක ප‍්‍රතිපත්තියටද පටහැනිව අත්සන් කරන්නට සිදු වූ බව ඔබට පිළිගැනීමට සිදුවේ. එසේම ඒ මගින් 1969 වියනා සම්මුතිය සහ 1971 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට ප‍්‍රකාශයට පත් කෙරෙන 2832 යෝජනාවද උල්ලංඝනය වේ. එවැනි තත්ත්වයක් තුළ දැන් ඔබ විසින් පළමුව කළ යුත්තේ මහජන සංවාදය සඳහා අදාල ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මැදිහත්වීමය. දෙවනුව කළ යුත්තේ මහජන හඬට සහ ඔබගේම අතීත උරුමයට ගරු කරමින් එම ගිවිසුම් නීත්‍යානුකූල නොවන බවට පිළිගැනීමය. එවිට තුන්වැන්න හෙවත් ගිවිසුම් වල වලංගුභාවය ප‍්‍රශ්න කිරීමට අවස්ථාව නිර්මාණය වේ.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය



32 Viewers