ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට අතීතය අමතක වෙලාද?

පසුගියදා සුදත්ත නැමැති යූටියුබ් ක්‍රියාකාරිකයෙකු සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ මානුෂීය මෙහෙයුමේ අවසන් මාස කිහිපය වන විට 57 වැනි සේනාංකය මෙහෙයවූ එවකට මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා ජර්මනියේ සිටි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුව එරටට යැවූ බවත්ය. එමෙන්ම එම ගමන සඳහා යාමට සූදානම් වීමේදී ජගත් ඩයස් මහතා සිය රථය පවා අනතුරට ලක්කරගත් බවට ෆොන්සේකා මහතා එහිදී චෝදනා කළේය.
කෙසේ වෙතත්, ඉතිහාසය නිවැරදිව දන්නා පාර්ශව පෙන්වා දෙන්නේ ජගත් ඩයස් මහතා ජර්මනිය බලා පිටත්ව ගියේ 2009 මැයි 19 වැනිදා යුද්ධය නිල වශයෙන් අවසන් වී මාස කිහිපයකට පසුව බවයි.
ඔහුට එල්ල වන රථ වාහන අනතුර පිළිබඳ කතාවද සත්‍යයක් වුවද, එය සිදුව ඇත්තේද යුද්ධය අවසන් වූ පසුකාලීනය. විශේෂයෙන්ම ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව එම ස්ථානයට මුලින්ම පැමිණි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර මේජර් ජනරාල් ජගත් ඩයස්, කමල් ගුණරත්න සහ ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් සිටි බවට ඕනෑම අයෙකුට මතකය අලුත් කරගත හැකි සාක්ෂි පවතී.
සත්‍ය තත්ත්වය මෙසේ තිබියදී, යුධ පිටියේ සියල්ල තමන් දන්නා බව පවසන සරත් ෆොන්සේකා මහතා මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම පිටුපස ඇති හේතුව ගැටලුසහගතය.
මෙය වයෝවෘද්ධ භාවය හෝ අතීතයේ මුහුණ දුන් බෝම්බ ප්‍රහාරයක අතුරු ආබාධ නිසා මොළයට සිදුවූ හානියක් හේතුවෙන් සිදුවූ අමතක වීමක්ද, නැතිනම් සිතාමතාම අතීතය විකෘති කරමින් අනෙක් රණවිරුවන් පහත් කර තමන් පමණක් වීරයෙකු වීමට දරන උත්සාහයක්ද යන්න විමසා බැලිය යුතුය. එය පළමු කරුණ නම් අනුකම්පා කළ යුතු වුවත්, දෙවැන්න නම් එය දේශපාලනික තක්කඩිකමකි.
මෙම සාකච්ඡාව මෙහෙයවූ යූටියුබ් ක්‍රියාකාරිකයාද කරුණු පිළිබඳ නිසි ගවේෂණයකින් තොරව හුදෙක් ප්‍රසිද්ධියට මෙන්ම මූල්‍යමය වාසි තකා සහ ඔහුගේ සුපුරුදු ජඩ මාධ්‍ය වුවමනාවට මෙවැනි ප්‍රකාශ ප්‍රචාරය කිරීම පිළිකුල් සහගතය.
මීට පෙර විශ්‍රාමික මේජර් ජනරාල් චාගී ගාල්ලගේ මහතාටද ප්‍රහාර එල්ල කළ මොහු, දැන් ෆොන්සේකා හරහා කිසිදු වරප්‍රසාදයකට තම ආත්මය පාවා නොදුන් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස් වැනි නිලධාරියෙකුට මඩ ගැසීමට උත්සාහ කරයි. 2009 මැයි 22 වැනි දින පස්වරු 01.36 ට ලබාගත් ඡායාරූපවල පවා ජගත් ඩයස් මහතා පැහැදිලිව පෙනෙන්නට සිටියදී, ඔහු එම කාලයේ ජර්මනියේ සිටි බව පැවසීම හාස්‍යයට කරුණකි. ඕනෑම දේකට සීමාවක් තිබිය යුතු බවත්, අතීතයේ කළ මෙහෙවර අගය කළද මෙවැනි අසත්‍ය ප්‍රකාශ හමුවේ නිහඬව සිටිය නොහැකි බවත් විචාරකයෝ පවසති.
මෙම ලිපිය සම්බන්ධයෙන් තර්කානුකූලව කරුණු දැක්වීමට කැමති ඕනෑම අයෙකුට ඒ සඳහා අවස්ථාව ඇති අතර, අදාළ නොවන අපහාසාත්මක ප්‍රතිචාර කෙරෙහි දැඩි අවධානය යොමු කරනු ලැබේ.
දුලාර ගුණතිලක
කැඳවුම්කරු
සිංහල සංවිධාන එකමුතුව
8 Viewers





