• Home »
  • Articles »
  • කැනඩා අගමැති ලංකාවේ දැළි ගායි !

කැනඩා අගමැති ලංකාවේ දැළි ගායි !

ඊයේ (18) දිනට යෙදී තිබූ මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය නිමිත්තෙන් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි , ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ බව පැවසෙන අපරාධ “ජන සංහාරයක්” ලෙස කැනඩාව විසින් පිළිගෙන ඇති බව යළිත් වරක් තහවුරු කර තිබේ.

No description available.

කැනඩාවේ සහ ලොව පුරා සිටින දෙමළ ප්‍රජාව සමඟ එක්ව මෙලෙස දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය සනිටුහන් කරන බව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා, දෙමළ ජනතාව තම මව්බිමේදී සන්නද්ධ ගැටුම තුළ මුහුණ දුන් දැවැන්ත වේදනාව සහ පීඩාව පිළිබඳව ද සිය නිවේදනය මඟින් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය වසර විසිපහකට වැඩි කාලයක් පුරා දස දහස් ගණනක් සිවිල් වැසියන්ගේ ජීවිත බිලිගත් බව පෙන්වා දෙන ඔහු, එහිදී ජීවිත අහිමි වූවන්ගේ මතකයට ගෞරව කරමින්, දැඩි වේදනාවකට මුහුණ දුන් ජීවිත බේරාගත් අය, ඔවුන්ගේ පවුල් සහ සමස්ත ප්‍රජාවන් සමඟ කැනඩාව සැමවිටම එකට සිටින බව ද සඳහන් කර තිබේ.

කැනඩාවේ ජීවත් වන විශාල දෙමළ ප්‍රජාව පිළිබඳව ද අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලෝකයේ විශාලතම දෙමළ ඩයස්පෝරාවන්ගෙන් එකක් කැනඩාවේ ජීවත් වන බවත්, ඔවුන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රචණ්ඩත්වයෙන් සහ පීඩනයෙන් බේරීම සඳහා මෙරටට පැමිණි අය බවත්ය. 2022 වසරේදී කැනඩා පාර්ලිමේන්තුව විසින් මැයි 18 වැනිදා “දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස ඒකමතිකව පිළිගත් ආකාරය සිහිපත් කරන හෙතෙම, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ අපරාධ ජන සංහාරයක් ලෙස නිල වශයෙන් හඳුනා ගැනීම එම වේදනාකාරී ඉතිහාසය පිළිගැනීමේ වැදගත් පියවරක් වූ බව ද පෙන්වාදී ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ වගවීම ඉදිරියට ගෙන යාම, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ දිවයිනේ සමස්ත ජනතාව සඳහා ස්ථාවර සාමයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ උත්සාහයන්ට කැනඩාව අඛණ්ඩව සහාය දක්වන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

මානව ගරුත්වය සහ යුක්තිය වෙනුවෙන් තමන් සතු කැපවීම නැවත තහවුරු කරන බව පවසමින් නිවේදනය අවසන් කර ඇති කැනඩා අග්‍රාමාත්‍යවරයා, මෙවැනි බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් කිසිදා නොසඟවා අමතක නොවන බවට වගබලා ගන්නා බව ද සඳහන් කර තිබේ.



2 Viewers