• Home »
  • News »
  • කුඩාපොළ හිමියන්ටත් අපහාසයක් වූ ජාතික භික්ෂු දිනයේ ඇත්ත කතාව…

කුඩාපොළ හිමියන්ටත් අපහාසයක් වූ ජාතික භික්ෂු දිනයේ ඇත්ත කතාව…

පසුගිය අගෝස්තු 26 වෙනිදා අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‘ ජාතික භික්ෂු දිනය ‘ නමින් නාමකරණය ලද වැඩසටහනක් පැවැත්වුනු බව ජනමාධ්‍ය ඔස්සේ ඊට ලබාදුන් ප්‍රචාරයන් ඔස්සේ සමස්ත රට වාසීන්ට දැක ගැනීමට හැකිවිය.. භික්‍ෂූන් වහන්සේලා සැලකිය යුතු පිරිසක් එම කාර්යය වෙනුවෙන් වැඩම කොට සිටි බවද පැහැදිලිය..

‘ජාතික භික්‍ෂු දිනයක්’ සැමරිය යුත්තේ මුලු රටක්ම ඒකාත්මික කරමින් බෞද්ධ ප්‍රබෝධය කුළු ගැන්වෙන රාජ්‍ය අනුග්‍රහයද නොඅඩුව ලබා දෙමින්, සමස්ථ රටටම සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරමින් විය යුතුය..

අවම වශයෙන් ජාතික භික්ෂු දිනයක ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලාටද වැදගත් කාර්‍යභාරයක් මෙන්ම, එම රාජ්‍යය උත්සව සඳහා  නියෝජනයක්ද අනිවාරණීය ලෙස සිදු විය යුතුය..

එසේම බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලද ඒකාබද්ධ කරමින් රාජ්‍ය අනුග්‍රහයද ලබා දෙන ජාතික වැඩසටහනක් ලෙස පැවැත්විය යුතුව තිබුණි..

එහෙත් කරුනු කාරණා සොයා බැලීමේදී මතුවන කාරණාව වන්නේ, දේශපාලන පක්ෂයක අනුබද්ධ සංවිධානයක සංවත්සර  උත්සවයක් එම දේශපාලන පක්‍ෂයේ නායකයාගේ මූලිකත්වයෙන් රාජ්‍ය ධනය යොදාගෙන  පැවැත්වීමය..

දේශපාලන පක්ෂය නම් ජනතා විමුක්ති පෙරමුණයි.. අනුබද්ධ සංවිධානය නම් ජාතික භික්ෂු පෙරමුණයි..

එම සංවිධානය බිහිවී අගෝස්තු 26 වෙනිදාට වසර වසර 25කි..

ජනතා විමුක්ති පෙරමුණේ භික්ෂු අංශයේ වාර්ෂික සුහද හමුව කෙසේ, කුමන ස්තානයක ජනාධිපතිවරයාද පමණක් නොව ඇමරිකානු තානාපතිනියද ගෙන්වාගෙන පැවැත්වූවාට කිසිදු ආකාරයේ ගැටලුවක් නොමැත.. නමුත් ප්‍රශ්නගත කාරණාව නම් “ජාතික භික්ෂු දිනය” නමින් සමස්ථ සඝ පරපුරද, සැදැහැවත් උපාසක උපාසිකාවන්ද මුලා කරමින් තම පක්ෂයේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම උදෙසා සමස්ථ බුද්ධ ශාසනයම අවභාවිතාවට ලක් කිරීමයි..

මෙහිලා සඳහන් කලයුතු වැදගත්ම කාරණාව වන්නේ ජාතික භික්ෂු පෙරමුණේ වාර්ෂික සුහද හමුව ඔවුන් සමරන්නේ කුඩාපොළ හිමි හෙවත් කඩහපොළ හිමියන් සහ ඓතිහාසික පානදුරාවාදය සිහිපත් කරමින් වීමද සුවිශේෂී තත්ත්වයකි.. ඒ අගෝස්තු 26 දිනය කුඩාපොළ හිමියන්ට වෙඩි තබා අපවත් කිරීමත්, පානදුරාවාදය ආරම්භ කිරීමත් යන කාරණාවන් සිහිපත් කරමිනි..

කුඩාපොළ හිමියන් පිළිබදව මෙරට ජනතාවට අතිශෝක්තියකින් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ.. ඉංග්‍රීසින්ගේ නිල වෙඩි පහරින් අපවත් කරවූ උන් වහන්සේ මෙරට ජාතික නිදහස් සටන් තුල යටත්විජිතවාදීන්ට එරෙහිව අභීත අරගලයක යෙදුණු සටන්කාමී, ජාතිහිතෛෂි කලකින් දැයකට පහළ නොවන හිමිනමකි..

සම්බුද්ධ ශාසනය අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට ලක්ව කුඩම්මාගේ සැලකිලි ලබමින් සිටි කාලයක ඊට එරෙහිව නැගී සිටිමින් එම පරිහානියේ ගමන ආපසු හැරවීමට පෙරමුණ ගත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද යතිවරයාණන් වහන්සේලා ප්‍රධාන මහා  සංඝරත්නයේ උදාරතර කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු මස 26 වැනි දිනක සිදුවූ ඓතිහාසික පානදුරාවාදය සඳහන් කළ හැකිය..

ජුගුප්සාජනක කාරණය නම් ඒ උදාර උත්තුංග අරමුණු හා අභිලාෂයන් තඹ දොයිතුවකටවත් මායිම් නොකරමින් වර්තමාන පුනරුද පාලකයන් ගෙන යන යලි යටත්විජිතකරණ ප්‍රතිපත්තීන් කරපින්නාගෙන යන නිරාගමික රාජ්‍යක් ඇති කිරීමේ කුරිරු චින්තනය  එලෙසම පවත්වා ගනිමින්, කුඩාපොළ හිමියන්ගේ සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පිලිරූ වන්දනා කරමින් පානදුරාවාදයේ ඉතිහාස කතාව යළි තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් සැබෑ අව්‍යාජත්වයකින් තොරව වසරකට වරක් පුනරුච්චාරණය කිරීමයි..

1) උතුරු නැගෙනහිර බෞද්ධ උරුමයන් බෙදුම්වාදීන් ජාතිවාදීන් විසින් වනසද්දී,

2) ඉතිහාසයේ පළමු වරට දුෂ්කර විහාරස්ථානයන්හී සේවය ලබාදීම වෙනුවෙන් ආරක්ෂක අංශයේ සාමාජිකයන්ට මිලක් නියම වී චක්‍රලේඛ  නිකුත් වද්දී,

3) පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිරාගමික NGO බත්බැලයෙකු පත් කරද්දී,

4) බුද්ධ ශාසන අමාත්‍යාංශය කැබලි කොට අහෝසි කරන්නට යද්දී,

5) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ පාසල් විෂය මාලාවෙන් බුද්ධාගම විෂය ඉවත්කොට ආගම යනුවෙන් නව විෂය කාන්ඩයක අහුමුල්ලකට තල්ලු කිරීමේදීත්,

6) ඉතිහාසය විෂය අනිවාර්‍ය විෂය කාන්ඩයෙන් ඉවත් කිරීමට සැරසෙද්දී,

7) පාසල් පෙළ පොත් තුළට LGBTQ විකෘතිය ඔබ්බවද්දීත්,

8) මව්බිම හොර ගිවිසුම් මගින් ඉංදියාවට පාවාදෙද්දීත්,

9) ජනතාවගේ ජෛවමිතික දත්ත ඉංදියානු සමාගම් විසින් කොල්ල කෑමට යද්දී,

ජාතික භික්ෂු පෙරමුණේ ආරම්භක කාලයේ ( 1999 – 2007 ) ඉහත දැක්වූ කාරණා ඉදිරියේ ඔවුන් දැක්වූ මහෞෂධ භූමිකාවට දැන් සිදුවී ඇත්තේ කුමක්ද යන්න වග වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී කුඩාපොළ හිමියන්ගේ අතීත උරුමය හා වත්මන් භික්ෂුවගේ ජාතික අභිලාෂයන් අතර සහසම්බන්ධය වඩාත් නිරවුල්ව  කියවා ගත හැකිවනු ඇත..

මව්බිමට එරෙහි න්‍යායපත්‍රයන් අභියස ජාතික භික්ෂු පෙරමුණ සාමදානයෙන් සැතපී සුව නින්දකය..

වන්දනා කරන්නේ සහ සමරන්නේ අධිරාජ්‍යවාදීන් ළඟ දන නොනැමූ ජාතික නිදහස් සටනේ වීරයන් වූ කුඩාපොළ හිමියන්ය..

අහෝ..

ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන්ට
පවසන්නට තිබෙන්නේ ඔබ වහන්සේලාගේ වාර්ෂික සුහද හමුවේ තේමා පාඨය වූ
” කාලෝ අයංතේ” නැවත නැවතත් සිහිනුවණින් උච්චාරණය කොට ඒ වෙනුවෙන් කැපවීම   පමණක් ප්‍රමාණවත් බවය..

දෛවෝපගත සිද්ධිය නම් වර්තමාන පුනරුද පාලකයන් බලයට පත්වීමට පෙර පැවසූයේ ආගම කිසිලෙසකින්වත් දේශපාලනීකරණය නොකරන බවය.. එහෙත් පාරාවළල්ලක් වී අරලියගහ මන්දිරයට  වැඩම කරවූ සංඝරත්නය හරහා ආගම ඇස්පනාපිටම දේශපාලනීකරණයට ලක් කොට ඇත..

තවත් හාස්‍යෝත්පාදක කාරණාව නම්, එකල ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ භූමිකාවට පන පොවද්දී පැවසූයේ

‘අසාර්ථක පාලකයන් සිවුරෙන් බංකර් හදනවා

‘තක්කඩියාගේ අවසාන නවාතැන ආගමයි’

‘අරලියගහ මැදුරේ දන්සල් දෙනවා වැනි අතිශය සුපිරිසිදු වාක්‍ය ඛන්ඩය..

එසේනම් වර්තමානයේ තක්කඩියන් බෝධිසත්ත්වයන් වී ඇතුවා වන්නට පුලුවනි? ..

රටත්, දැයත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂාකොට, යහමගට ගත යුතු අවස්ථාවන් රාශියක් හිතාමතාම තම පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් නිර්ලජ්ජිතව අමතක කොට දමමින් මහජනතාව මුලා කිරීම උදෙසා තම පක්ෂයේ දේශපාලන නායකයාට වේදිකාවන් තනා දෙන අතීතයේ ඔවුන්ම පැවසූ ආකාරයෙන් කසාවතේ දේශපාලනය සිදු කරන ජාතික හික්ෂු පෙරමුණ පිළිබඳව සබුද්ධික ජනයා තුල ගොඩනැගෙමින් පවතින්නේ දැඩි පිළිකුල් සහගත හැඟීමකි..

වර්තමාන ජනාධිපතිවරයාද එදවස තමන් පැවසූ ගජබින්නාලංකාරයන් කසාවතේ පිහිටෙන් වසා දමා කයිය නායකයෙක් වෙන්නටත්, ආණ්ඩුවේ නොහැකියාවන් ( ජාතික, ජාත්‍යන්තර )
සමාජයට විවර වද්දී තම විළි වසා ගැනීමේ උපකරණයක් බවට භික්ෂූන් පත් කොට අවසන්ය..

අවසානයේ පැවසිය යුත්තේ නොයෙකුත් ආකාරයේ ගරු රඟපෑම් වලින් මාතෲභූමිය නවයටත්විජිත කොලනියක් බවට පත් කරමින් තිබෙන ඊනියා පුනරුද ආණ්ඩුවේ ගමන නිවැරදි කිරීම උදෙසා ජාතික භික්‍ෂූ පෙරමුණේ ආරම්භක අවධියේ ගත් උපායමාර්ගික දැක්මවල් යළි සලකා බලන ලෙසත් එසේ නොමැති නම් තම වාර්ෂික සැමරුම් උත්සවයෙන් කුඩාපොළ හිමියන්ගේ පිළිරුව අවභාවිතාවේ නොයොදා අස්තානගත කිරීම වඩා යෝග්‍ය බවත් පැවසිය යුතුය..

ජාතියට මග කියන විනයධර, ධර්මධර , විද්වත් භික්ෂූන් වහන්සේලා නුවනැසින් මෙම කාරණාවන් දෙස බලත්වා යැයිද, අපේක්ෂාවන් මුසුව  ප්‍රාර්ථනා කර සිටින්නෙමු…!



71 Viewers