එංගලන්තයේ ජාතිවාදය

මේ වෙනකොට එංගලන්තය පුරා ඉතා නරක විදියට ජාතිවාදී රැල්ලක් පැතිරගෙන යනවා. බ්‍රිතාන්‍යයේ සාමාන්‍යයෙන් ක්‍රීඩා තරගයකදී හෝ වෙනත් ජාතික උත්සවයකදී ඇරෙන්න පාරවල් වල හා ප්‍රසිද්ධ ස්ථාන වල එංගලන්ත කොඩිය හෙවත් St. George’s Cross එක ප්‍රදර්ශනය කරනවා හරි විරලයි. ඇමරිකාව වගේ රටවල නම් ගෙවල් වල පවා නිතරම කොඩිය දාලා තියනවා. නමුත් එංගලන්තයේ දැන් මේ පැතිරගාන යන්නේ කොඩිය ප්‍රදර්ශණය කරනවාට වඩා සංක්‍රමණිකයන්ට විරෝධය පල කිරීමේ ජාතීවාදී රැල්ලක්.

ලයිට් කනුවල සහ ඉහළ ස්ථාන වල කොඩිය ප්‍රදර්ශනය කරනවාට අමතරව පාරේ සුදු පැහැති මාර්ග සලකුණු වල රතු පැහැති කතිරය අදිමින් තව තවත් ඒක ව්‍යාප්ත කරනවා. මේක දැන් සංවිධිනාත්මක වැඩක් බවට පත්වාලා තියනවා. කණ්ඩායම් එකතු වෙලා අරමුදල් රැස් කරලා අළුතින් කොඩි සහ කොඩි කණු මිලදී ගනිමින් මේ ව්‍යාපාරයට දායකත්වය දක්වනවා. ඒ අතරේ අන්ත දක්ෂිනාන්ෂික ව්‍යාපාර වලට සහය දක්වන්නෙකු ලෙස ප්‍රසිද්ධ එලෝන් මස්ක් පවා සිය පෞද්ගලික X ගිණුමේ එංගලන්ත කොඩියක් ප්‍රදර්ශනය කරමින් මේ ජාතිවාදී ව්‍යාපාරයට ගෝලීය මුහුණුවරක් දීලා තියනවා.

ඒ අතරේ ඇමරිකානු උප ජනාධිපති JD වැන්ස් ද බ්‍රිතාන්‍යයේ මේ පවතින තත්වයට අනවශ්‍ය මැදිහත්වීමක් කරමින් මේ කොඩි ප්‍රදර්ශනය කරන ව්‍යාපාරය විවේචනය කරන්නන් හෙලාදැකිය යුතුයි වගේ ප්‍රකාශයක් නිකුත් කරලා තියනවා. ඊට අමතරව කොන්සර්වේටිව් රජයේ හිටපු ස්වදේශ කටයුතු ලේකම්වරයෙකු වන සුවෙලා බ්‍රේවර්මන් ද සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි මේ අන්ත දක්ෂිනාශික ව්‍යාපාරයට සහාය දක්වන ආකාරයේ ඡායාරූපයක් පල කරලා තිබුනා. ඇය ධූරය දරණ කාලයේත් විවිධ ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ආන්දෝලනයට ලක්වූ කෙනෙක්.

කොහොම උනත් මේ ධජ ව්‍යාපාරය අවසානයට තල්ලු වෙමින් යන්නේ නයිජල් ෆරාජ් රිෆෝම් UK පක්ෂය දෙසට. දැන් වෙනකෙට පාලක කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය අභිබවා නයිජල් ෆරාජ්ගේ අන්ත දක්ෂිනාශික ව්‍යාපාරය සීඝයෙන් ජනප්‍රිය වෙනවා. බ්‍රිතානයේ ජීවන වියදම් ගැටළුව අභිබවා මේ සංක්‍රමණ ප්‍රශ්නය ප්‍රමුඛතම ප්‍රශ්නයක් වෙලා තියනවා. නයිජල් ෆරාජ් ට්‍රම්ප්ගෙත් හොද මිත්‍රයෙක්. ඒ නිසා ට්‍රම්ප්ගේ සහායත් ඔහුට නොලැබෙනවා වෙන්න බෑ. ෆරාජ් මේ ලගදිත් කිව්වා 2029 දී ඔහු බලයට පැමිණි වහාම සංක්‍රමණිකයන් ලක්ෂ 6 ක් පිටුවහල් කරනවා කියලා. මේ තියන තත්වයත් එක්ක ෆරාජ්ව සුළුකොට තකන්න බෑ.



32 Viewers