ජාතිවාදය ඇවිස්සීම

ජනාධිපති අනුර දිසානායක උතුරේ සංචාරය අතර කච්චතිව් දූපතට යනවා. තමිල්නාඩුවේ දෙමළ ඡන්දදායකයන් චූන් කරන්න තලපත් විජේ කච්චතිව් නැවත ඉන්දියාවට පවරාගත යුතු බවට ජාතිවාදය වපුරන පසුබිමක සිදුවන මෙම සංචාරය අගය කරනවා.

රටේ රාජ්‍ය නායකයා එම දූපතට යෑම ඔස්සේ එහි අපට ඇති අයිතිය සංකේතාත්මකව තහවුරු කරනවා. ඒ වගේම එහි අපේ රටෙි පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනාධිපති මන්දිරයක් තනා ශ්‍රී රාජ්‍ය නායකයාගේ ආධිපත්‍ය සංකේතාත්මකව තහවුරු කරන ලෙස මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

එවක ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි සමග සාකච්ඡා කොට කච්චතිවු දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට දිනාදීමෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉටුකළ මෙහෙවර එමගින් තවත් තහවුරු කළ හැකියි.

ජනාධිපති අනුර දිසානායකගේ කච්චතිව් සංචාරයේ සංකේතාත්මක අගය මිස කච්චතිව් ගැන ඔහු කළ ප්‍රකාශ නම් මම එතරමි ගණන් ගන්⁣නේ නෑ. ඒවාට කිසිම වටිනාමක් නෑ. ඔහු කරන ප්‍රකාශවලට ඔහුටවත් වගවීමක් නෑ. අද උදේ කරන ප්‍රකාශයට සපුරා විරුද්ධ ප්‍රකාශයක් හවසට කරලා අහගෙන ඉන්න කොමන් සෙන්ස් තියෙන එවුන්ට පොළොව පලං යන්න හිතෙද්දි කිසිම හිරිකිතයක් නැතිව හිනාවෙන්න එතුමාට වගේම එතුමාගේ කණ්ඩායමටත් පුළුවන්.

මේ සංචාරයේ දී ජනාධිපතිතුමා වගේම මහජන ආරක්ෂක ඇමතිතුමාත් ජීවිතාරක්ෂක කබා නොමැතිව සිටීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්වෙලා. ඒක සාධාරණයි. මේක යතුරු පැදියක හිස් ආවරණ නොමැතිව ගමන් කිරීම වගේම වරදක්.

සමාජයයට ආදර්ශයක් විය යුතු චරිත විශේෂයෙන් තරාතිරම නොබලා සැමට එක සේ නීතිය ක්‍රියාත්මක කරන බවට වේදිකාවල සිංහනාද කරන අතර මෙවැනි කටයුතු කිරීම එම ප්‍රකාශ හුදු වචනයට සීමා වන බව තහවුරු කරනවා.

ජනාධිපතිතුමා උතුරේ දී තමිල්නාඩු වර්ගවාදයට එරෙහිව කටයුතු කරන අතර සිය රටේ වර්ගවාදය පෝෂණයට කටයුතු කිරීම කනගාටුදායකයි. ඔහු උතුරට ගිය සෑම අවස්ථාවකම රාජපක්ෂලාට බනිමින් ඉතාම පහත් ජනප්‍රියත්වයක් අපේක්ෂාවෙන් කටයුතු කරනවා.

මේ ඔහු අමතන්නේ රාජපක්ෂලා විසින් ප්‍රභාකරන් ඇතුළු කොට් පරාජය කරන සටනට නායකත්වය දීම පිළිබඳ උතුරේ ජන මනසේ පවතින නොපහන් හැඟීම, වෛරය. ඔහු මෙකන දී රටක ජනාධිපතිවරයෙකු නොවැටිය යුතු තරම්  පහතට ඇද වැටෙනවා. ජාතිවාදී ගිනි පුළිඟු නිවෙන විට ඊට පිදුරු දැමීම අනුමත කරන්න බෑ.

එසේම උතුරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තැනීමට පහුගිය ආණ්ඩුව 2021 විතර කළ සැලසුම තමන්ගේ වගේ ප්‍රකාශයට පත් කරමින් සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ගැන සඳහන් කරමින් ජනාධිපතිතුමා නැවතත් වර්ගවාදය අවුස්සනවා.

රටක් වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවශ්‍ය එකම සහ එකම කොන්දේසිය දක්ෂතාව මිස ඔහුගේ ඇයගේ ජාතිය ආගම කුලය නෙමෙයි. අපේ ක්‍රිකට් කණ්ඩායමට දෙමළ මුස්ලිම් සම්භවයක් සහිත ඇන්ජලෝ මැතිව්ස්, තිලකරත්න ඩිල්ෂාන් වගේ අය නායකත්වය පවා දුන්නා. ඔවුන්ගේ ජාතිය මේ රටේ බහුතරයක් දන්නෙත් නෑ. අදාළත් නෑ. රටම මුරලිදරන් වෙනුවෙන් නැගිට්ටේ ඔහුගේ ජාතිය බලලා නෙමෙයි.

යුද්දේ කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ කරන දිනවල කොටි ප්‍රහාර එල්ල නොකර තරඟ නැරඹු බවත් ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ විට එය සැමරූ බවත් රහසක් නෙමෙයි. වර්ගවාදී කොට් පවා ජාතිවාදය එන්නත් නොකළ ක්‍රීඩාවට ජාතිවාදය පැටලැවීම අපරාධයක්. කිසිම රාජ්‍ය නායකයෙක් මේ අපරාධය කළේ නෑ. ජාතිවාදයට එරෙහි බව කියමින් ජාතිවාදය වර්ගවාදයම පෝෂණය කිරීම, වර්ගවාදී සර්පයන්ට කිරි පෙවීම කෙදිනක පාරාවළල්ලක් වෙන්න පුළුවන්. එය රටට හෝ ආණ්ඩුවට කිසි දිනක යහපතක් කරන්නේ නෑ.



6 Viewers