• Home »
  • News »
  • ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී දිවි සැරිය නිමා කරයි

ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී දිවි සැරිය නිමා කරයි

– ඇයගේ කැමැත්තට අවමංගල්‍ය සභා නෑ.

– අවසන් කටයුතු සෙනසුරාදා සවස 5ට බොරැල්ල ආදාහනාගාරයේ දී…

හෙළයේ ගීත කෝකිලාවිය, ජාතියේ යශෝරාවය ලෙස දශක ගණනාවක් මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඔටුනු පලන් රැජිනිය වූ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී අද (20) සිය දිවිගමනට සමු දුන්නාය.

මියයන විට ඇය 82 වියේ පසුවූවාය.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වී තිබේ.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය.

නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවිය.

කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ “ළමා මණ්ඩපය” වෙත හඳුන්වා දී තිබේ.

එහිදී ඇය ගායනා කළ “බුදු සාදු” ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.

ආචාර්ය නන්දා මාලනීගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට (21) පෙ:ව:10 සිට නාවල පාර – විජයබා මාවත නිවසේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කෙරේ.

නිවසෙන් පිට දේහය නොතබන ලෙස ඇය දන්වා ඇත.

අවසන් කටයුතු සෙනසුරාදා (22) සිදු කරන අතර ප:ව 3.30ට දේහය නිවසින් රැගෙන ගොස් ප:ව:5 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරයි.

අවසන් කැමැත්ත අනුව සියල්ල චාම්ව සිදුවෙයි. අවමංගල සභා හෝ කතා නොමැතිව අවසන් කටයුතු කිරීමට නියමිතය.

නිවුස් වේව් කාර්‍ය මණ්ඩලයේ අපි ඇයට උතුම් නිවන් සුව ලැබේවා! යැයි ප්‍රාර්ථනා කරමු.



8 Viewers